SRI LANKA

අති විශ්වාසනීය බැතිමත් අවනතභාවයෙන් කැපවී විශ්ව මානව සහෝදරත්වයෙන් "හජ්"(ඊද් උල් අල්හා) මහෝත්සවය සමරමු!


අද "හජ්"(ඊද් උල් අල්හා) උත්සව දිනයයි. 

ශ්‍රී ලංකාවේ අද ජාතික නිවාඩු දිනයකි. ශ්‍රී ලංකා රාජ්‍යයත් සමස්ත ජනතාවත් ලෝකවාසී ඉස්ලාමීය ජනතාවගේ එම භක්තිමත් ගාම්භීර ඓතිහාසික සැමරුම් දින උත්සවය පැවැත්වෙන දින ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කොට ඊට ශ්‍රී ලාංකීය ජාතියේ ගෞරවනීය උත්තම ආචාරය පුද කොට තිබේ. එමගින් ඔවුන් ලොව වටා ඉස්ලාමීය බැතිමතූන් අති විශ්වාසනීය බැතිමත් අවනත භාවයෙන් කැපවී මහත් ගෞරව අභිමානයෙන් යූතූ ප්‍රීතියෙන් "හජ්" උත්සව සමරන අද දිනයේ විශ්ව මානව සහෝදරත්වත්වයෙන් යුතුව බැඳී සිටී.

ශ්‍රී ලාංකීය දෙස් විදෙස් ශ්‍රමිකයන් බහුතරයකගෙන් සැදුම්ලත් සංවිධානයක් ලෙසත් ජාති ආගම් කුල භේද පිටූ දකින ශ්‍රී ලාංකික සංවිධානයක් ලෙසත් විශ්ව කලා ශ්‍රමික සංසදය මෙවර "හජ්" උත්සවය සමරන අපේ ඉස්ලාමීය සහෝදරයන්ට ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ ඓතිහාසික ප්‍රෞඩ උරුමයන්ගේ ආශ්වාදය සහ ආශිර්වාදයන් තෘප්තිමත්ව භුක්ති විඳීමට අල්ලාහ් සුභානුවතා ආ ලාගේ සියලු ආශිර්වාදයන් හිමි වේවායි! සහෝදරත්වයෙන් ප්‍රාර්ථනා කරන්නෙමූ.

විශේෂයෙන් අප සංවිධානයේ බහුතර සාමාජික පිරිසක් මැදපෙරදිග රටවල සේවය කරති. ඒ හැම දෙනාම එම රටවල බහුතර ජනතාව වූ ඉස්ලාමීය ප්‍රජාවට හජ් උත්සවය බැතිමත්ව අර්ථාන්විතව සතුටින් සැමරීමට දායක වෙති. මැදපෙරදිග රටවල විවිධ හාම්පුතුන් යටතේ විවිධ සේවයන් ඉටූ කරන අපගේ සාමාජිකයන් සියලු දෙනා ඉතා වෙහෙස මහන්සි වී ඔවුන්ගේ බැතිමත් ආගමික මහෝත්සව මංගල්‍යය සැමරීමට සිය උපරිම ශ්‍රම දායකත්වය ලබාදීම සිදූ කරති. මේ අසිරිමත් ගාම්භීර උත්සව සමයේ මැදපෙරදිග කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් ලෙස ඔවූන් සිය ලබ්ධිය කුමක් වුවත් අති ශ්‍රේෂ්ඨ වූ අල්ලා සූභානූවතා ආ ලාගේ ආශිර්වාදය ඔවුන්ටත් ඔවුන්ගේ හාම්පුතුන්ටත් ලැබේවායි! සිය හදවත් තූලින් ප්‍රාර්ථනා කරති. 

හජ් යන අරාබි වචනයේ අර්ථය "සොයා යෑම" " පෙරට යෑම" වශයෙන් දැක්විය හැකියි. සෑම මුස්ලිම්වරයෙකුම සැමරිය යුතු දින දෙකක් ලෙස- ඊද් -උල් -ෆිතර් සහ ඊද් -උල් -අල්හා යන දින හැඳින්වේ. ඊද්- උල්- අල්හා යන්නෙහි අදහස කැප කිරීමේ මංගල්‍ය (festival of sacrifice) යන්නයි. ඉස්ලාම් භක්තිකයන්ගේ පංච විධ සීල (ශහාදා සලාත් සකාත් සව්ම් සහ හජ්) අතරින් පස්වැනි සීලය වන හජ් වන්දනාව ඊද්-උල් -අල්හා දිනයේදී සිදු කරයි. එදින ලොව පුරා සිටින හැකියාවෙන් පරිපූර්ණ ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වූ මක්කම පිහිටි කහ්බා දේවස්ථානය වෙත දස ලක්ෂ සංඛ්‍යාතව පැමිණ ඉබ්‍රහම් නබිතුමා, හාජරා(අලය්) තුමිය සහ ඉස්මායිල් (අලය් ) තුමා එක් පවුලක් ලෙසත් එක් පවුලක සාමාජිකයන් ලෙස වෙන වෙනමත් අල්ලාහ් සුභානුවතා ආ ලාට ඇති අත්‍යන්ත විශ්වාසනීය භක්තිමත් අවනත භාවයෙන් සිදුකළ මහා අද්වතීය කැපවීම ස්මරණය කරමින් කහ්බාව වන්දනා කරති.

මොහොමඩ් නබි තුමාණන් උපන් භූමිය මක්කම වන නිසා ආර්ථික හා ශාරීරික හැකියාව ඇති සියලුදෙනාම මක්කම පිහිටි කහ්බාව වෙත ගොස් අල්ලාහ් වෙනුවෙන් හජ් වතාවත් ඉටු කළ යුතු බව අල් කුරාණයේ සඳහන් ව තිබේ. එසේම හැකියාව තිබියදී එකී වන්දනාවේ නොයෙදෙන්නේ නම් අල්ලාහ්ට කිසිවක අවශ්‍යතාවයක් නැති නිසා එසේ නොයා සිටීමෙන් අල්ලාහ් ට කිසිවක් අඩු නොවන බව ද එහි දක්වාතිබේ.

නබී ඊබ්‍රාහිම්අලෛහිසලාම්තූමා සහ එතුමන්ගේ බිරිඳ වූ හාජරා තුමියත් පුත්‍රයා වූ ඉස්මායිල් තුමාත් යන තිදෙනා විසින් අල්ලාහ් දෙවිඳුන්.කෙරෙහි ඇති අත්‍යන්ත භක්ති පූර්වක නොසැලෙන ගෞරවය පෙරදැරි කරගෙන සිදුකරනලද මහා අවනතභාවී කැප කිරීම ස්මරණය කිරීම අරමුණු කරගෙන සිදුකරන හජ් වන්දනාව හා ඒ හා සබැඳි ආගමික අනුස්මරණයන් මගීන් වත්මන් විශ්වාසවන්තයන්ටද පරමාදර්ශී ඇදහීම පිළිබඳ අගනා පණිවිඩයක් ලබාදෙයි.
හජ් සමයේ දී තම දූ දරුවන් මිල මුදල් ධනය වස්තුව ඥාතීන් සහ උපන් දේශය පවා අතහැර ඉස්ලාම් භක්තිකයන් සෞදි අරාබියේ මක්කා නගරයේ පිහිටි උතුම් කහ්බාවට ගොස් වත් පිළිවෙත් වල නියැලීම මැවුම්කාර සර්වබලධාරී අල්ලාහු තා ආලා කෙරෙහි පවත්නා හෘදයාංගම ආදර භක්තිය විශ්වාසය සහ නැමදිය යුතු එකම දෙවියන් වහන්සේ අල්ලාහ් සූභානූව ආ තාලා ලෙස පිළිගැනීම යළි යළිත් තහවුරු කරමින් එතුමන්ගේ ඉගැන්වීම් පිළිගනිමින් මෙලොව ජීවත්වීමට කැපවෙන බව කහ්භාවට ගොස් හෘදයාංගමව ප්‍රකාශ කර නැවත සපත කොට අධිෂ්ඨාන කරගන්නා අවස්ථාවක් ලෙසද සඳහන් කළහැකිව තිබේ.

"හජ්" වන්දනාවේ දී මුස්ලිම් භක්තිකයන් එතෙක් හැඳ සිටි සියලු ඇඳුම් පසෙකළා "ඉර්හාම්"නම් සුදු රෙදි කැබලි දෙකකින් සැරසී අවසානයේදී හිස ද මුඩූ කර ගෙන මහත් වූ කැපවීමෙන් භක්තියෙන් යුතුව එම වන්දනාව සිදු කරති.

ලොව විවිධ ප්‍රදේශ වල විවිධ භාෂා කතා කරන මිලියන ගණනක් ඉස්ලාමීය බැතිමතුන් එකම දිනයක එකම වේලාවක එකම පන්නයේ සුදු ඇඳුමින් සැරසී අතිමහත්වූ භක්ති ප්‍රණාමයෙන් කැපවී පේ වී එකම දිශාවකට හැරී ජාති කුල වර්ණ උස් පහත් ආදී භේද වලින් තොරව අල්ලාහ් සූභානූවආ තාලා වෙනුවෙන් වාර්ෂිකව සිදුකරන සාමූහික නමස්කාරය අත්‍යලංකාරව ප්‍රශස්තව හද පිරි බැතියෙන් යුතුව සිදුකරති. එම අද්විතීය නයනානන්දනීය පරමානන්දනීය නමස්කාරය ලෝකයේ ඕනෑම කෙනෙකුට ආස්වාදය කළ හැකි අසිරිමත් ආදර්ශමත් වන්දනාවක් ලෙස සඳහන් කළ හැකිය.

හජ් උත්සව දිනයේ මක්කාවට යන මුස්ලිම් බැතිමතුන් සේම එදින හජ් වන්දනාව නිමිති කරගෙන ඉස්ලාමීය බැතිමතුන් පවත්වන සියලු වන්දනාවන් ගේ අරමුණ අල්ලාහ් නම් එකම මැවුම්කාර දෙවිඳුන් කෙරෙහි මුස්ලිම් වරුන් ගේ ඇති අනුල්ලංගනීය මහත් වූ භක්තිය ආදරය පිරිනැමීම වේ.
එසේම ඔවුන්ගේ උතුම් ප්‍රාර්ථනය වන්නේද අනුල්ලංඝනීය විශ්ව මානව සහෝදරත්වය සහ සහජීවනය යයි.

"ඉස්ලාම්" යන අරාබි වචනයේ තේරුම අවනත වීම, කීකරු වීම, බැඳීම, හා සාමය, ලෙස සැලකෙන හෙයින් හජ් උත්සවයේ දී සකල ලෝකවාසී මානව වර්ගයා වෙත ඉස්ලාමීය ජනතාව සිය සහෝදරත්වය සාමය සතුට සහජීවනය ආදරය ගෞරවය හදපත්ලෙන්ම ප්‍රාර්ථනා කරති.

අප මුලින් සඳහන් කළ පරිදි "හජ්" යන අරාබි වචනයේ අර්ථය "සොයා යෑම" හා "පෙරට යෑම "ලෙස සඳහන්වනවා සෑම මුස්ලීම්වරයෙකුම සැමරිය යුතු වැදගත් උතුම් දිනයන් දෙකක් ලෙස ඊද් උල් ෆිතර්( රාමදාන්) සහ ඊද් උල්-අල්හා(හජ්) යන දිනදෙක හැඳින්වෙනවා. ඊද් උල් අල්හා යන්නේ දහස වන්නේ කැපකිරීමේ මංගල්‍ය (festival of sacrifice) යන්නයි. ඉස්ලාම් බැතිමතුන්ගේ පංචවිධ සීලය වන ශහදා, සලාත්, සකාත්, සවම්, සහ හජ් අතරින් පස්වැනි සීලය වන හජ් වන්දනාව ඊද් උල් අල්හා දින සිදු කරයි. 

ඉස්ලාම් ධර්මයේ මූලික සංකල්ප කීපයක් තිබේ. එයින් පළමුවෙනි සංකල්පය "තව්හීද්" සංකල්පය යි. එනම් අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙක් නැත, යන ඒක දේවවාදී පිළිගැනීමයි. ඒ අනුව මිනිසාගේත් ලෝකයේත් ජීවයේ උල්පත ශුද්ධ වූ "අල්ලාහ්" දෙවිඳුන් බව බව හද පත්ලෙන්ම විශ්වාස කිරීමයි.

දෙවැන්න අල්ලාහ් විසින් මිනිසාට මග පෙන්වීම පිණිස එවන ලද "මුහම්මද් නබි" තුමා ඇතුළු නබිවරුන් විශ්වාස කිරීමයි. අල්ලාහ් දෙවිඳුන් විසින් මිනිසුන්ට මග පෙන්වන්නේ අනාගත වක්තෘවරුන් මාර්ගයෙනි. ඒ සියලු දෙනා මනුෂ්‍යයන් ය. ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීම අල්ලාහ් දෙවිඳුන් කෙරෙහි විශ්වාසය තැබීම හා සමාන වන බව ශුද්ධ වූ අල්කුරාණයේ දක්වා ඇත. එසේ අල්ලාහ් විසින් එවන ලද අවසාන නබිතුමානන් වූයේ මුහම්මද් නබිතුමා යි.

තුන්වන සංකල්පය වන්නේ අල්ලාහ් විසින් මනුෂ්‍ය වර්ගයාට ප්‍රකාශ කරන සියලු දේව පණිවිඩ අඩංගු ග්‍රන්ථය වන ශූද්ධ "අල් කුරානය" හා සියලුම දේව ග්‍රන්ථ කෙරෙහි විශ්වාසය තැබීම යි.
හතරවන සංකල්පය වන්නේ "අල්ලාහ්" දෙවිඳුන් විසින් එවන ලද සියලු නබිවරුන්ට එක හා සමාන ලෙස ගෞරව කළ යුතු බවයි.

පස්වැනි සංකල්පය වන්නේ පරලොවක් ඇතැයි විශ්වාස කළ යුතු බවත් සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇති බව සිහිපත් කරගන්නා ලෙස අල් කුරානය දන්නවා තිබීමයි.

හයවන සංකල්පය වන්නේ අල්ලාහ් දෙවිඳුන්ගේ ,,"සර්ව භෞමික" නීතියයි. එය ( කදා සහ කදර්) ලෙස දක්වා ඇත. එහි අදහස වන්නේ සෑම දෙයක්ම අල්ලාහ්ගේ නියමය පරිදි යම් යම් නීති රීති අනුව සැකසෙන බව හා අල්ලාහ් විසින් යමක් සිදුවීමට නියම කරනු ලබන බවයි.

ඉහත කී උතුම් මූලධර්ම වල පිහිටා ඊද් උල් අල්හා හෙවත් හජ් ආගමික උත්සව මංගල්‍යය සෑම මුස්ලිම් භක්තිකයෙක් ම අනිවාර්යෙන්ම සමරති. එදින අලුත් වස්ත්‍රාභරණයෙන් සැරසෙන ඔවූහු උදෑසනම සිය සලාතය හෙවත් නැමැදීම සඳහා දේවස්ථානයකට හෝ ඒ සඳහා පිළියෙළ කළ ස්ථානයකට යති. පළමුව අල්ලාහ් දෙවිඳුන් නැමදීම සිදුකරන අතර අනතුරුව සියලුම දෙනා එකිනෙකාට "ඊද්" සුබ පැතුම් ප්‍රාර්ථනා කරමින් ආචාර සමාචාර කරති. මෙම දිනයේ දී චාරිත්‍රයක් වශයෙන් තම ඥාති හිත මිතුරන් මුණගැසී ඔවුන්ට සාමය ශාන්තිය සහජීවනය (සලාම්) හදවතින්ම ප්‍රාර්ථනා කොට පවසති..

තමන් කුමන තරාතිරමකට අයත් වුවත් සියලු දෙනා එක හා සමාන මනුෂ්‍යයන් බව වටහා ගැනීමට "ඊද් "උත්සවය ඉවහල් වේ. රාජ්‍ය නායකයෙකු, ධනවතෙකු දිළින්ඳෙකු හෝ කවර තරාතිරමක පුද්ගලයෙක් වුවත් කහ්භාව ඉදිරිපිට ඒ සියල්ලෝ එක සමානය. "හජ් වන්දනාවේ දී"සලකනු ලබන්නේ අල්ලාහ් දෙවිඳුන් කෙරෙහි ඇති භක්තිය පමණි. ලොව සමස්ත මුස්ලිම් බැතිමතුන් එකම වෙලාවකදී එක මොහොතකදී සමරන "හජ් වන්දනා" මහෝත්සවය මගින් සමානාත්මතාවය, සාමූහිකත්වය, සංහිදියාව ,පරිත්‍යාගය, සාමය යන උත්තරීතර පණිවිඩ සමස්ත මානව සංහතියට ලබාදෙයි.

"හජ්" වන්දනාව මුස්ලිම් ජනතාවගේ සහෝදරත්වය ගොඩනැගීමේ ද මහඟු උතූම් අවස්ථාවකි. 

අල්ලාහ් වෙනුවෙන් තම ජීවිතය පවා පරදුවට තැබූ ඉබ්‍රාහිම් නබි තුමා සහ එතුමාගේ පූත් ඉස්මායිල් නබීතුමන් අල්ලාහ්ට ඇති අචල භක්තියෙන් කරන්නට යෙදුනු පරිත්‍යාග සම්බන්ධව ශුද්ධ වූ අල් කුර්ආනයේ ඇති අගනා විස්තරය හජ් වන්දනා මහෝත්සවයේ ප්‍රෞඪ අභිමානනීය ඓතිහාසික පුවත ගෙනහැර දක්වයි.(අල් කුරාණයේ තිස් හත්වන පරිච්ඡේදය100-110)

මෙම වන්දනීය පූජනීය උතුම් දිනයේ දී එය සිහිපත් කීරීම සර්ව බලධාරී අල්ලාහ් ගේ මහානුභාව සම්පන්න භාවයට කරන උත්තරීතර නමස්කාරයකි.

ඉබ්‍රාහිම් නබිතුමා වර්තමානයේ ඉරාකයට අයත් භූමිභාගයක උපත ලැබීය. එකල රට පාලනය කළේ "නම්රූද්" නම් කෲර රජකු වන අතර ඔහුට දෙවියන් ලෙස සලකා නමස්කාර කර වැඳුම් පිඳුම් කළ යුතු යැයි මහජනයාට අණකොට තිබිණි. මෙම අණට විරුද්ධව නැගී සිටි එතුමා ශුද්ධ වූ "අල්ලාහ්" හැර කිසිවකුට නමස්කාර නොකරන ලෙස ජනතාවට අනුශාසනා කළහ. රාජ අණට වඩා දේව අණ බලවත් අනුල්ලංඝනීය වග සේම අනුහස් සහිත බව ලොවට ප්‍රථමයෙන්ම සිංහනාද පවත්වා හෙළිදරව් කළ අවස්ථාව ලෙස මෙම ගාම්භීර ඓතිහාසික අවස්ථාව සඳහන් කළ හැකිය. එයින් කෝපයට පත් රජතුමා ඉබ්‍රාහිම් නබීතුමා ගිනිමැලයකට දමා පුළුස්සන ලෙස අණ කළේය. රාජ අණට අනුව ඉබ්‍රාහිම් නබිතුමා ගිනි මැලයට දැමීමට සූදානම් මොහොතේ දේවදූත "ජිබ්රිල්" තුමා එතුමාට උදව් පිණිස පැමිණියද , ඉබ්‍රාහිම් නබිතුමා අල්ලාහ් කරෙහි පැවති අචල විශ්වාසයෙන් යුතුව "දෙවියන් මා සමග සිටී" යැයි පිළිතුරු දී ඇත. රාජ අනට අනුව "ඉබ්‍රාහිම්" නබිතුමා ගින්නට දැමුවද එතුමන්ට එය සුළං හමන උද්‍යානයක් බවට පත්ව තිබූ බව සඳහන් වේ.
( අල් කුරානය21.69)

අනතුරුව ඉබ්‍රාහිම් නබිතුමා තම 87 වැනි වියේදී අල්ලාහ්ගේ අණ පනත් නියමාකාරව පිළිපදින යහපත් දරුවෙක් තමන්ට ලබා දෙන ලෙස අල්ලාහ්ගෙන් ඇයද සිටියේය. මෙම ඇයදීම පිළිගත් අල්ලාහ් ඉබ්‍රාහිම් නබිතුමාගේ බිරිඳ වන හාජරා තුමියට "ඉස්මායිල්"නමින් දරුවකු දායාද කර ඇත. මේ අතර දිනකදී දරුවා සහ බිරිඳ කාන්තාරයේ තනිකර දමන ලෙස අල්ලාහ් ඉබ්‍රාහිම් නබිතුමාට සිහිනයෙන් අණ කර ඇත. ඒ අනුව අල්ලාහ් දෙවිදුන්ගේ අණ පිළිගත් ඉබ්‍රාහීම් තුමා ගිනියම් වූ කාන්තාරයේ පූත් ඉස්මායිල් සහ හාජරා තුමිය තනිකර දමා පැමිණියේය. ආහාර හෝ දිය බිඳක් නොමැති ව මව සහ පුතා ගිනියම් කාන්තාරයේ සිටියහ.
අවසානයේ ඔවූන් දෙඅත් ඔසවා "අල්ලාහ්" දෙවිදූන්ගෙන් පිහිට පැතූ අතර එවිට ඉස්මායිල් නම් පුතාගේ පාමුල දිය උල්පතක් මතුවිය. මෙයින් පිපාසය සංසිදුවා ගත් මව් පුතු දෙදෙනාම සම් සම් (නවතිනු නවතිනු) යනුවෙන් හඬ නගා පවසා වේගයෙන් ගලා ආ දිය පහර නතර කිරීමට උත්සාහ කර ඇති නමුත් එය නතර නොවීය. මහා කාන්තාරයෙන් මතුවූ මෙම දිය උල්පත පදනම් කොටගෙන එම ප්‍රදේශයේ ජනාවාස බිහි වෙන්නට පටන් ගෙන ඇත. සම් සම් දිය උල්පත අසලම පිහිටි කහ්බාව අල්ලාහ් සිහිකිරීමට ලෝකයේ පළමුව නිර්මාණය කරනු ලැබූ ඉස්ලාමීය දේවස්ථානයයි. ඉබ්‍රාහිම් නබිතුමා සහ එතුමාගේ පුතණුවන්වූ ඉස්මායිල් නබිතුමා ද එකතුව කහ්බාවේ දේවස්ථානය නිර්මාණය කළහ. කලක් ඇවෑමෙන් එය ජනාකීර්ණ මක්කා නගරය බවට පත් වූ අතර ස්ලාමීය වන්දනාකරුවන්ගේ වත් පිළිවෙත් සිදු කරන කේන්ද්‍රස්ථානය, මෙන්ම සාමය සංහිදියාව සහ ආරක්ෂාව ලබාදෙන ස්ථානය ලෙසද එය සැලකේ. මීට වසර දහස් ගණනකට පෙර මතුවූ මෙම උල්පත වර්තමානය ද දක්නට ඇති අතර මක්කාවේ පදිංචි ලක්ෂ සංඛ්‍යාත ජනතාව හා විදෙස් රටවලින් හජ් වන්දනාව කිරීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව ද අදටත් එම දිය උල්පත ප්‍රයෝජනයට ගනිති.ඉබ්‍රාහිම් නබිතුමා සහ ඉස්මායිල්නබි තුමාගේ අල්ලාහුතාලා කෙරෙහි වූ අචල භක්තිමත් විශ්වසනීය භාවය සම් සම් දිය උල්පත බිහිවීමේ හාස්කම.විය. එඋතුමන්ලාගේ උත්තරීතර පරිත්‍යාගය ලොවසිටින ඉස්ලාම් බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත ගණනින් එකම වස්ත්‍රයකින් සැරසී, එකම දිසාවටහැරී, එකම මොහොතකදී එකට එක්ව ජාති කුළ වර්ණ උස් පහත් භේද වලින් තොරව සාමය සහජීවනය පිළිබඳ උතුම් අදහස් හිතේ දරාගෙන වන්දනා කරන දේවස්ථානය බිහිවීමට මූල් විය. 

අද දින ලොව පුරා සිටින ගෞරවනීය ඉස්ලාම් භක්තිකයන් සියලුම දෙනාට සර්වබලධාරී අල්ලාහූ සූභානූතාආලාගේ නිබද ශාන්තිය කරුණාව සාමය සතුට සහජීවනය අත්පත් කරගැනීමට අල්ලාහ් දෙවිඳුන්ගේ ආශීර්වාදය ලැබෙන අසිරිමත් "හජ්" උත්සව දිනයක් වේවායි විශ්ව කලා ශ්‍රමික සංසදය හෘදයාංගමව ප්‍රාර්ථනා කර සුභාශිංශනය කරයි!

සභාපති 
විශ්ව කලා ශ්‍රමික සංසදය
සරත් කුමාර දුල්වල

Post a Comment

0 Comments