ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක පැවැත්ම සඳහා අප විපක්ෂය( විරුද්ධ පක්ෂය) ලෙස හඳුන්වන කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය අතිශය තීරණාත්මක වැදගත්කමකින් යුක්ත බව ඉඳුරාම පිළිගැනේ. එමෙන්ම විපක්ෂයට අමතරව රටක සිවිල් සංවිධාන හෝ බලපෑම් කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වයන් ද ඒ ලෙසින්ම ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයකට වැදගත් කාර්යභාරයක් ඉටුකරයි.
යම් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක වගකීම වන්නේ මැතිවරණයකදී රටේ පරමාධිපත්‍යය හිමි ජනතාව විසින් අනුමත කළ ප්‍රතිපත්ති මාලාවක් නියමිත කාලපරිච්ඡේදයකදී ජනතාව වෙනුවෙන් , ජනතාව සඳහා , ජනතාවට ඉටුකර දීමයි.
පාලක පක්ෂය විසින් එලෙස තම භූමිකාව ඉටු කිරීමේදී ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කරන හෝ ජනතාව ඔවුනට ලබා දුන් බලය, වරම , ඉක්මවා අත්තනෝමතිකව හැසිරෙනවා නම් හෝ ජනතා වරම සටකපට ලෙස තමන්ට හෝ තම දේශපාලන පක්ෂයට වරදාන, වරප්‍රසාද ලබා ගැනීමට සහ එහි පැවැත්මට යොද ගන්නවා නම් ඊට එරෙහිවීම විපක්ෂයේ ප්‍රධාන වගකීමයි. එම තත්ත්වයට එරෙහිව සංවර්ධනාත්මකව විවේචනය කිරීම මෙන්ම ඒවා නිවැරදි කර ගන්නට අවැසි මග පෙන්වීම හා විකල්පයන් පෙන්වාදීම ද ඒවා නිවැරදි කරගන්නා තැනට ආණ්ඩුව තල්ලු කිරීමට ඇවැසි පූජාතාන්ත්‍රික මැදිහත්වීම ද විපක්ෂය විසින් කළ යුතුය.
අනෙක් අතට සිය භූමිකාව නිසි ලෙස අවබෝධ කර නොගැනීම හෝ දුර්වල අවිධිමත් විපක්ෂයක් පැවතීමෙන් පාලකයන්ට මතු කී ලෙස අත්තනෝමතික පාලනයක් ගෙන යාමට හෝ සටකපට උපායන් හා සැලසුම් මගින් රටත් ජනතාවත් සූරාකමින් අයුතු වරප්‍රසාද ලබා ගැනීමට අවස්ථාවන් හා ඉඩකඩ නිර්මාණය වන බවද සඳහන් කළ හැකිය. ඒ අනුව වඩා ශක්තිමත් වගකීම් සහිත විපක්ෂයක් පැවතීමෙන් ආණ්ඩු පක්ෂය හෙවත් පාලක පක්ෂයට මනා රාජ්‍ය පාලනයකට ඉමහත් පිටුවහලක් ලැබෙන බවද පැහැදිලිය. තවද ශක්තිමත් විපක්ෂයක් පැවතීම ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිදහසේ අර්ථය වඩාත් ප්‍රශස්තව ක්‍රියාත්මක වීමට අවකාශය සලසන බව ද පෙන්වා දිය හැකිය.
එසේම අසාර්ථක හෝ බෙලහීන විපක්ෂයක් පැවතීම අත්තනෝමතික දුර්දාන්ත පාලනයකට පාවඩ දැමීමක් බව ද නිසැකව පෙන්වා දිය හැකිය. මෙහිලා සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණු කීපයක් තිබේ. එනම් ආණ්ඩුව හෝ පාලක පක්ෂය කරන සියලු කටයුතුවලට වග විභාගයකින් තොරව විරුද්ධ වීම හෝ විවේචනය කිරීම ද විපක්ෂයේ භූමිකාව නොවන බවයි.
එසේම පාලක පක්ෂය විසින් ඔවුන්ට ජනතාව ලබා දුන් බලය මත පිහිටා රටේත් ජනතාවගේත් යහපත උන්නතිය උදෙසා ක්‍රියාත්මක කරන සාධනීය වැඩ කොටස් නොදන්නා සේ සිටීම හෝ එවැනි වැඩ කොටස් ගැන බොරු බිල්ලන් මවා ජනතාව රැවටීමට උත්සාහ කිරීමද වගකිවයුතු විපක්ෂයක් නොකළ යුතුය.
නමුත් අවාසනාවකට අද අපේ රටේ විපක්ෂයේ භූමිකාව ලෙස ක්‍රියාත්මක වන්නේ පාලක පක්ෂය විසින් කරන සෑම ක්‍රියාවක්ම විවේචනය කිරීම තම භූමිකාව ලෙස විපක්ෂය විසින් සිතාගෙන කටයුතු කිරීමයි. එය කොයිතරම් විහිළු සහගත තත්ත්වයකට පත්වී තිබේද යත් විටෙක රටක ඇතිවන කාලගුණික දේශගුණික වෙනස්කම් මත ඇතිවන අර්බුදයන් පවා පාලක පක්ෂයේ වරදක් ලෙස ඇතැම්විට විපක්ෂය විසින් නිර්දය ලෙස විවේචනය කරමින් කටයුතු කිරීම " හේන මුවන් කෑවිට ගෙදර තිබෙන මුව හමට තලන්නා " වැනි තත්ත්වයක් පෙන්නුම් කරයි.
අපේ රටට පාලන බලය සඳහා පාලකයන් තෝරා ගැනීමේ දී බහු පාර්ශවීය පක්ෂ ක්‍රමයකට ඡන්ද විමසීමෙන් පාලකයින් පත් කරගනු ලබයි.එහිදී විධායකය සඳහා ජනාධිපතිවරයකු තෝරා ගැනීමේ දී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 51% වැඩි ප්‍රමාණයකින් වැඩිම ඡන්ද ලබා ගත් පුද්ගලයා ජනාධිපති ධූරයට පත් කර ගනී. ඒ අනුව එම මැතිවරණයෙන් පත්වන විධායක ජනාධිපතිවරයා රටේ විධායකයා වන අතර ඊළඟට වැඩිම ඡන්ද ලබාගත් ජනාධිපති අපේක්ෂකයාට කිසියම් බලයක් හෝ හිමිකමක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලසා නොමෑත.
නමුත් රටේ ව්‍යවස්ථාදායකයට අයත් වන පාර්ලිමේන්තුව , පළාත් සභා හා පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් තෝරා ගන්නා මැතිවරණයකදී එකී ආයතන සඳහා නියම කර ඇති මැතිවරණ ආසන සංඛ්‍යාවෙන් වැඩි ආසන ප්‍රමාණයක් හිමිකර ගන්නා පක්ෂයට පාලක බලය හිමිවන අතර ඊළඟට වැඩිම ආසන ප්‍රමාණයක් හිමිකර ගන්නා දේශපාලන කණ්ඩායම විපක්ෂය හෙවත් විරුද්ධ පක්ෂය බවට තීරණය කෙරේ.
වැඩි ආසන ප්‍රමාණයක් හිමි කරගත් දේශපාලන පක්ෂයේ නායකයා පාලක පක්ෂයේ නායකයා වන අතර දෙවනියට වැඩිම ආසන ප්‍රමාණයක් හිමි කරගත් පක්ෂයේ නායකයා විපක්ෂ නායකයා හෙවත් විරුද්ධ පක්ෂයේ නායකයා බවට පත්වේ.
මෙහිදී පාලක පක්ෂය අසමත්වීම හෝ දුර්වලවීම මත හෝ ආණ්ඩු පක්ෂයට පත් වූ කණ්ඩායමෙන් අපේක්‍ෂිත ජනතා අභිලාශයන් ඉටු නොවීම මත හෝ විපක්ෂ කණ්ඩායමට පාලන බලය ලබාගැනීමේ අවස්ථාව හිමිවීම ද සිදුවේ.
විපක්ෂයේ ප්‍රධාන භූමිකාව වන්නේ පාලක පක්ෂය විසින් ඔවුන් බලය ලබාගත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා නිසි ලෙස ප්‍රතිපත්ති සම්පාදනයේ නියැලෙනවාද , ව්‍යවස්ථා හෙවත් නීති සම්පාදනයේ නියැලෙනවාද, මහජන අරමුදල් අවභාවිතයෙන් තොරව යහ භාවිතයෙන් පරිහරණය කරනවාද ,සහ මහජන ප්‍රශ්න සිය පාලනය තුළ නියෝජනය කරමින් ඒවාට සාධනීය විසඳුම් ලබාදීමට කටයුතු කරනවාද යන්න ගැන ඉතා දැඩි අවධානයෙන් පසුවෙමින් ඇවැසි මැදිහත්වීම සිදුකිරීමයි
එහිදී විශේෂයෙන් පාලක පක්ෂයේ දූෂණ , වංචා , අක්‍රමිකතා ,අතපසු කිරීම් , ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම් , අත්තනෝමතික තීරණ ගැනීම් හා ක්‍රියාත්මක කිරීම් , සටකපටකම් සිදු කිරීම් ආදිය සිදුවනවා නම් ඒවාට එරෙහිව සංවර්ධනාත්මක විවේචන ඉදිරිපත් කරමින් සාධනීය විකල්ප විසඳුම් යෝජනා කරමින් ඒවා ක්‍රියාත්මක කිරීමට සහාය ලබා දෙමින් තම භූමිකාව තුළ වඩා විශිෂ්ටව හා ප්‍රශස්තව කටයුතු කිරීමයි.
එමගින් සෑම විටම විපක්ෂයට වඩ වඩාත් පොදු ජනතාවගේ ගෞරවය , ආශිර්වාදය , නැඹුරුව , දිනාගැනීමට අවස්ථාවක් සැලසෙනවා සේම ඔවුන් ඡන්දයෙන් පත් වූ පාලන සභාවේ පාර්ශ්වකාර වගකීම නිසි ලෙස ඉටු කිරීමේ ගෞරවයට හිමිකම් කීමට අවස්ථාව ද සලසා ගනී.
එසේම යම් විපක්ෂ කණ්ඩායමක් සිය කණ්ඩායම තුළ අර්බුද ඇතිකර ගැනීම , විපක්ෂයේ අනෙක් සුලුතර කණ්ඩායම් සමඟ ගැටුම් ඇති කරගැනීම, විපක්ෂයේ ඒකීයත්වය බිඳ දමන බෙදුම් රේඛා නිර්මාණය කර ගැනීමට හේතුවන බවද පෙන්වා දිය යුතුය.
එවිට විපක්ෂයට සිය භූමිකාවේ වගකීම නිසි ලෙස ඉටු කිරීමට කාලය නැති වෙනවා සේම විපක්ෂයට සිය සභාව තුළ මෙන්ම ඉන් පිටතදීත් ජනමාධ්‍ය තුළත් ඉටු කළ යුතු සිය භුමිකාවේ යුතුකම් ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වේ.
එලෙස බෙදුණු විපක්ෂයක් සෑම විටම දුර්වල විපක්ෂයක් වන අතර එවැනි විපක්ෂයක් පවතින විට පාලක පක්ෂයට මතු කී ලෙස නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය අකාමකා දැමීමට එය මා හැඟී අවස්ථාවක් සලසන බවද පෙන්වා දිය යුතුය.
ඒ නියරින් ගත් කළ විපක්ෂයේ භූමිකාව ඉතා බැරෑරුම්, වගකීම් සහිත , මනා දැක්මකින් යුතු විය යුතු බවත් සිය භූමිකාව ගැන ප්‍රශස්ත දැක්මක් නැති විපක්ෂයක් යනු මුග්ධ විපක්‍ෂයක් බවත් පෙන්වාදීමට හැකිය.
මෙහිදී පෙන්වා දිය යුතු තවත් වැදගත් කරුණක් වන්නේ විපක්ෂයට හිමි ආසන ගණන විපක්ෂයේ ශක්තිය කෙරෙහි තීරණාත්මක සාධකයක් නොවන බවයි. සිය භූමිකාව පිළිබඳ මනා දැක්මකින් යුතු සිය කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා කම්මැලිකමෙන් තොර කාර්යක්ෂම ජනතා කේන්ද්‍රීය මානසිකත්වයෙන් වැඩ කරන තාර්කික හා සංවර්ධනාත්මක චින්තනයකින් හෙබි එක්සත් විපක්ෂයක් පාලක පක්ෂය තරමට ම බලවත් වන බව පෙන්වා දිය හැකිව තිබේ
එසේම විපක්ෂයේ භූමිකාවට බලය ලබා ගැනීම ඉලක්ක කරගත් කුමන්ත්‍රණ උගුල් ඇටවීම් කඩාකප්පල්කාරී ක්‍රියාවන් අයිති නොවන බව ද ඉඳුරාම පැවසිය යුතුයි.
තවද ව්‍යවස්ථාදායක සභාවල ආසන පැනවීමේදී පාලක පක්ෂය එක් පසෙකටත් විපක්ෂය තවත් පසෙකටත් ලෙස ආසන පැනවීමෙන් බෙදුම් රේඛාවක් නිර්මාණය නොකරන බව ද සදහන් කළ යුතුය. දෙපාර්ශවයේ භූමිකාවන් හඳුනාගැනීමට සහ වාද විවාද සඳහා පහසු ලෙස යටිතල ව්‍යුහ පහසුකම් සැලසීමට පමණක් එකී වෙනස්කම පවතින බව සඳහන් කළ යුතුය.
නමුත් අවාසනාවකට අපේ රට අද විපක්ෂය විරුද්ධ පක්ෂය ලෙසද හඳුන්වනු ලබන අතර ඔවුන්ගේ කාර්යභාරය පාලක පක්ෂයට කොන්දේසි විරහිතව එරෙහිවීම ලෙස තේරුම් ගෙන ඒ අනුව කටයුතු කරමින් සිටී. ඒ අනුව බොහෝ විට ව්‍යවස්ථාදායක සභාවක සිදු කරන වාද විවාද , සාරගර්බ සංවර්ධනාත්මක ඒවා නොව මඩ ගැසීම් කුණුහරුපකීම් , අපහාස උපහාස කිරීම් , තර්ජන ගර්ජන කිරීම් පමණක් නොව ගුටිබැට හුවමාරු කර ගැනීම් දක්වා විකාශනය වී ඇති බව ප්‍රකට තත්වයකි.
අද අප රට විශාල ණයබරකින් පෙලේ. ඊට වගකිවයුතු කවුරුන්ද යන්න ගැන සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණ නොවේ. නමුත් 1848 නිදහසින් පසු බලයට පැමිණි සෑම පාලක පක්ෂයක් මෙන්ම විපක්ෂයත් අඩු වැඩි වශයෙන් ඊට වගකිවයුතු යන සත්‍ය සඳහන් කළ යුතුය. දැන් අපි එයින් මිදිය යුතුය.
අපේ දුවා දරුවන්ට ඒ ණය බර දායාද නොකොට අප අපනයන ආර්ථිකයකට සංවර්ධනය විය යුතුය. එය අද අප හමුවේ පවතින ජාතික වගකීමකි. ජාතික යුතුකමකි . ඊට අප සැවොම ශ්‍රී ලාංකික ජාතිය ලෙස එක්සත්ව එක්සිත්ව දායක විය යුතුය.
ඒ සඳහා අප වාද භේද පක්ෂ පාට දුරලිය යුතුයි. අප ඉපදුනු හැදුනු වැඩුණු ජීවත් වන සේම මිහිදන්වන අපේ මාතෘ භූමිය අප සුරැකිය යුතුය . අපි ලෝකය ඉදිරියේ දණින් වැටිය යුතු නැත. අපි දීර්ඝ ඉතිහාසයක් ඇති ප්‍රෞඪ අභිමානයක් ඇති ජාතියකි. අපි ඒ අභිමානය රැකගත් යුතුය.
එනිසා අප බෙදුම් රේඛා ඉවත් කර ගත යුතුය. විපක්ෂය විරුද්ධ පක්ෂය යන යල් පැන ගිය දේශපාලන වචන භාවිතයේ සිට බෙදීම්වලින් අප නිදහස් විය යුතුය. විපක්ෂය වෙනුවට විකල්ප යන නම් අපට ආදේශ කරගත හැකිය. ඒ අනුව අප විකල්ප සංවර්ධන යුගයකට එක්සත්ව එක්සිත්ව ගමනක් ආරම්භ කළ යුතුය . එමගින් අපට "ඉන්න හිතෙන රටක් ' "ඉන්න වටින රටක් ' ගොඩනගා ගත හැකිය
M.H.M නියාස්
සභාපති:
මීඩියා ලින්ක්
0777814108
0 Comments