SRI LANKA


 

නත්තල් උත්සවය අවබෝධයෙන් දැනුවත්ව බැතියෙන් සමරමු!


ක්‍රිස්තු භක්තිකයන් ඉතා ගෞරවයෙන් අභිමානයෙන් ප්‍රීතියෙන් සමරන සමාජීය හා මානව සංස්කෘතික උත්සවයක් ලෙස නත්තල සැලකිය හැකිය. 

ගවලෙනක ශුද්ධෝත්පත්තිය ලබා සකල ලෝකවාසී සමස්ත මානව සංහතියට ම සාමය සතුට සහ ජය උරුම කර ගැනීමට උපකාර කරමින් සත්වයා වෙත දයාව පැතිරවීම තම පරම අරමුණ කරගත් ජේසුස් ක්‍රිස්තුස් සමිඳුන් දූන් ආදර්ශය බැති සිතෙහි රඳවාගෙන අප නත්තල සමරන්නෙමු. 

කිතු දහමේ උත්තම හරය වන සහෝදරත්වය දයාව සහ ප්‍රේමයේ පණිවිඩය ලොවට රැගෙන ආ ජේසුස් වහන්සේගේ උපත පිළිබඳ ප්‍රීතිය හවුලේ භුක්ති විඳීමට පවුල් සහ සියලු ජන කොටස් ඒකරාශිකරණ සංස්කෘතික මංගල්‍යයක් ලෙසින් ද අප නත්තල සමරන්නෙමූ.

ලූක් සහ මතෙව් යන බයිබල් කතුවරුන්ට අනුව කිතු උපත පිළිබඳව අසිරිමත් නත්තල් කතාව බිහිවී ඇත. මෙසායා නොහොත් තෝරාගත් තැනැත්තා යන නමින් හැඳින්වෙන ජේසුස් වහන්සේ මරිය මවුතුමිය නම් කන්‍යා ස්ත්‍රියගෙන් උපත ලැබූ බව බයිබලයේ සඳහන් වේ. බෙත්ලෙහෙම් නුවර දී මරිය මවුතුමියට හා ක්‍රිස්තුස් වහන්සේගේ සුරැකි පියා වන ජූසේ තුමාට ලැබුණු දරුවා වශයෙන්ද උන්වහන්සේ ගැන දේශනාවල සඳහන් වේ. 

ඔගස්ටස් අධිරාජයා විසින් එරට ජන සංගණනයක් පැවැත්වීම සඳහා සියළු රට වැසියන් නගරයට කැඳ වූ අවස්ථාවක බෙත් ලෙහෙම් නගරයට විශාල පිරිසක් රැස් වූ හෙයින් ජෝසප් තුමාට හා මරිය තුමියට රාත්‍රි නවාතැන් ගැනීමට. තැනක් සොයා ගැනීමට නොහැකි ව අවසානයේ බැටළු ගාලක නැවතීමට සිදුවිය. මරිය මව්තුමියට එදින රාත්‍රියේ බැටළු ගාල තුළදී ජේසු බිලින්දා බිහිවූ බව සඳහන් වේ. 


සම්ප්‍රදායානුකූලව මෙම උපත ගවලන කදී සිදු බව කියවෙනවා. නමුත් බයිබලයේ දේශනා අනුව එම උපත සිදුවී ඇත්තේ ගව ඔරුවක බවද සඳහන් වෙනවා (එම ඔරුව අදටත් බෙත්ලෙහෙම් නුවර දේවස්ථානයට පහලින් පිහිටා ඇති බව ද සඳහන් වෙනවා.)

දේව දූතයෙකු විසින් මෙම ගව ලෙන අසල සිටි එඬේරුන් හට ජේසුස් වහන්සේගේ උපත ගැන පවසා තිබේ. ජේසුතුමාගේ උපත ඊට වසර ගණනාවකට පෙර දිවැසිවරුන් ඒ ගැන කියා තිබූ අනාවැකියක් සත්‍යවීම බව ක්‍රිස්තු භක්තිකයෝ විශ්වාස කරති.

මුල්කාලීන ක්‍රිස්තියානීන් නත්තල් සැමරීම ක් නොකල බව කියැවේ. ඊට හේතුව එකල බහු දේවවාදී ඇදහිලි ක්‍රම විශ්වාස කළ රෝම පාලකයන් එකම දෙවියන් වහන්සේ කෙනෙක් විශ්වාස කරන ක්‍රිස්තු දහමට ඉඩ නුදුන් නිසා විය හැක. ක්‍රිස්තු වර්ෂ 313 දී කොන්ස්ටන්ටයින් අධිරාජයා විසින් මිලාන් ආඥාව නිකුත් කිරීමෙන් පසු ක්‍රිස්තියානි වත්පිළිවෙත්වල නිදහසේ යෙදීමට ක්‍රිස්තියානි භක්තිකයන්ට අවස්ථාව සැලසිණි.

ඉහත සන්දර්භයන් තුළ විකාශය වූ නත්තල අද සකල ලෝකවාසී ක්‍රිස්තියානි/ කතෝලික බැතිමතුන් සාමය සංහිදියාව සහෝදරත්වය මානව ගරුත්වය පරිත්‍යාගය වැනි උතුම් මානව ගුණාංග පෙරටු කරගෙන සමරනු ලබනවා එනිසා මෙවර නත්තල ද සාමය සහෝදරත්වය සහ සහජීවනයේ අධිෂ්ඨානය මානව හදවත් තුළට සංකේන්ද්‍ර කරන උතුම් දවසක් ලෙස අප සමරමු! 

තවද නත්තල කිතුණුවන්ට පමණක් උරුම උත්සවයක් ලෙස සලකනවාට වඩා 
යෝග්‍ය වන්නේ එය සකල මානව වර්ගයාටම අයත් මහා ආධ්‍යාත්මික වටිනාකමක් ඇති සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකීමයි. බෞද්ධ ඉස්ලාම් හින්දු ආදී සෑම ආගමකම සඳහන් වන උගන්වන කරුණාව මුදිතාව උපේක්ඛාව යන ගුණාංග කිතු දහමේ ද හරයයි. මානව ප්‍රේමය පෙරදැරි කරගත් සාමය සංහිඳියාව රජ කරවන සමාව දීම 
සහකම්පිත බව කිතුනු දහමේ පදනමයි එනයින් නත්තල සකල මානව වර්ගයාගේම ගෞරවයට පාත්‍රවන පූජනීය වන්දනීය සංස්කෘතික මංගල්‍යයක් ලෙසද 
හඳුන්වා දිය හැකිව තිබේ.


තවද ස්ලාමීය බැතිමතුන් විශ්වාස කරන ලෙසට ජේසුස් වහන්සේ සර්ව බලධාරී එකම දෙවියන් වහන්සේ විසින් මහ පොළොවට එවූ නබීවරුන් අතරින් එක් ශ්‍රේෂ්ඨ නබිවරයකි. ඔවුන් එතුමන්ව හඳුන්වන්නේ ඊසා නබීවරයා ලෙසයි. එනයින් ගත් කළ කිතුණු භක්තිකයන් සේම ඉස්ලාමීය භක්තිකයන් ද තම ආගමික ඉතිහාසයේ ගෞරවනීය ස්ථානයක් ජේසුස් තුමාට හිමිකර දෙති. 

ඒ අනුව ලොව පුරා විසිර සිටින විවිධ ආගමික භක්තිකයන් විවිධ අගයන් හා වටිනාකම් මත ක්‍රිස්තුස් තුමන්ට ගරුකරති එතුමන්ගේ උප්පත්තිය සමරන දින සැමරීමට සහජීවනයෙන් අත්වැල් බැඳ ගනිති.

අපගේ මාතෘ භූමිය වන ශ්‍රී ලංකාවේ සියලු දෙනාටත් අප දේශයෙන්
සංක්‍රමණය වී ලෝකයේ විවිධ රටවල සේවය කරන සංක්‍රමණික ප්‍රජාවටත් අධ්‍යාපනය ලබන දරු දැරියන්ටත් සමස්ත ලෝකවාසී ප්‍රජාවටත්
උදා වූ මෙම නත්තල සාමය සතුට සංහිදියාව මානව ප්‍රේමය වෙසසින් උදාකරන කෙරෙන ඔවුන් වෙත සමස්ත ලෝක කිතුනු ප්‍රජාව එම දයාබරත්වයන් හදවතින්ම ප්‍රකාශ කරන උතුම් දිනයක් වේවායි අප ප්‍රාර්ථනා කරමු !

ඔබට සුභ නත්තලක් වේවා!!

සරත් කුමාර දුල්වල
සභාපති විශ්ව කලා ශ්‍රමික සංසදය

Post a Comment

0 Comments