SRI LANKA


 

රාමදාන් සඳේ අලංකාරය ආධ්‍යාත්මිකව දකිමු.!


රාමදාන් යනු සමාජයේ පවත්නා විවිධ බෙදීම් නිරර්ථක ඒවා බව අවබෝධ කරවමින් මිනිසුන් එකට බැඳී එක මිනිස් පවුලක් ලෙස ජීවත් විය යුතු බව පසක් කරවන ආගමික වත් පිළිවෙතකි.

සර්වබලධාරී අල්ලාහ් දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් එකිනෙකා සිය මහන්සියෙන් උපයා සපයා ගත් ධනය ඇතුළු සියල්ල සහෝදරත්වයෙන් භුක්ති විඳිමින් බෙදා හදා ගනිමින් සංහිදියාවෙන් යුතුව සමානාත්මතාවය අල්පේච්ඡතාවය ප්‍රගුණ කරවන උතුම් ආගමික පිළිවෙතක් පුරාමාසයක් පුරා සැපිරීම රාමදාන් උපවාස සීලය ලෙස හැඳින්වේ. 

රාමදාන් උපවාස සීලයේ නියුක්ත වීමෙන් ගොඩනගා ගන්නා ආධ්‍යාත්මික සංවර්ධනය, දියුණුව, පුද්ගලයාගේ ජීවිත කාලයටම ඔහුට මහ පොළොවේ ජීවත් වන්නේ කුමක් අරඹයා ද? යන්නත් ඔහුගේ වගකීම හා යුතුකම වන්නේ කුමක්ද? යන්නත් කියා දෙන ආගමික වත් පිළිවෙතක් ලෙස ද පෙන්වා දිය හැකිය. 

උපවාස ශීලය අවධියේ ඇති කර ගන්නා කායික මානසික පුනර්ජීවනයේ ශක්තිය උපයෝගී කරගෙන මැවුම්කාර සර්ව බලධාරියාණන් කෙරෙහි අචල භක්තියෙන් යුතුව මුස්ලිම්වරයාට තම ජීවිතය ඉදිරියට පවත්වාගෙන යෑමට ඇවැසි දර්ශනය එමගින් උදා කරේ .

එසේම පුද්ගලයාට සිය හෘදය සාක්ෂියට වග වෙන, වග කියන, අවංක කම අසීමාන්තික ඉවසීම ඒ තුළින් ගොඩනැගෙන සංයමය මෙන් ම කිසි විටකත් අනෙකා නොරවටන පරම විශ්වාසවන්ත භාවය ජනිත කරවන රාමදාන් උපවාසය යහපත් සංස්කෘතික සමාජයක් ගොඩ නැගීමට ශක්තිමත් අඩිතාලමක් වන බව ද සඳහන් කළ යුතුය.

එම නියරෙන් ගත් කළ රාමදාන් හෙවත් ඊදූල් ෆිතර් 'මහෝත්සවය ආගමික වත් පිළිවෙතක් වනවා සේම මිනිසාට සිය ජීවන දර්ශනය තනි තනිවත්, සාමූහිකවත් ගොඩනගා ගැනීමට සහ තමන්ට උචිත ජීවන සංස්කෘතියක් නිවැරදිව නිරවුල්ව ගොඩනගා ගැනීමට ලෞකික වශයෙන් සහ ආධ්‍යාත්මික වශයෙන් මග පෙන්වන 
උතුම් ආගමික චාරිත්‍රයකි.

ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයට අනුව නව වන මාසය වන රාමදාන් මාසයේ මොහොමඩ් නබි "සල්" තුමාණන්ට අල් කුරානය පහළ වීමේ ආශ්චර්ය සිදුවූ බව සඳහන්ය. ඒ අනුව ද අප පෙර සඳහන් කළ උතුම් උත්තරීතර බව රාමදාන් මාසයෙන් වෙන් කළ නොහැකි ලෙස අනුල්ලංඝනීයව බැඳී පවතී. 

එනිසා ම රාමදාන් මාසය පූජනීය වන්දනීය ගෞරවනීය ශුද්ධ උතුම් මාසයක් ලෙස ලොව පුරා වෙසෙන ඉස්ලාමීය බැතිමතුන් මෙන් ම ඉස්ලාමය ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනා සලකති. 

මේ මහා ආගමික මංගල්‍යයේ තවත් සූවිශේෂ ලක්ෂණයක් වන්නේ සෑම වසරකම රාමදාන් මහෝත්සවය පැවැත්වෙන දිනය වෙනස් වීමයි. ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයට අනුව චන්ද්‍රයාගේ දර්ශනය පදනම් කරගෙන රාමදාන් උපාසයේ ආරම්භය සහ අවසානය සනිටුහන් කරයි. එමගින් රාමදාන් මහෝත්සවය ස්වභාව ධර්මය සමඟ ඇති බැඳීම පෙන්නුම් කරයි. ඉස්ලාමීය විශ්වාසයට අනුව සියල්ල නිර්මාණය කර ඇති මහා නිර්මාණකාරයාණන් වන අල්ලාහ් පමණක් දන්නා මිනිසා ඇතුළු සමස්ත විශ්වයේ ක්‍රියාකාරිත්වය සමඟ පුද්ගලයාගේ ජීවිතයේ සමාන්තර බව ඇති කිරීමට ද මෙම ආගමික මහෝත්සවය මහත් පිටුබලයක් ලබාදෙයි. 

රාමදාන් උපවාසය කාලය අරාබි භාෂාවෙන් සවම් හෙවත් ෂියාම් ලෙස හඳුන්වති. එම අරාබි වචනවල සරල සිංහල තේරුම මග හරවා ගැනීම, ඈත් කිරීම, ලෙස ගත හැකිය. විශ්ව නිර්මාතෘ සර්ව බලධාරී එකම දෙවියන් කෙරෙහි අනුල්ලන්ගනීය විශ්වාසයකින් භක්තිමත් භාවයකින් ඇදහීමෙන් අල් කුරාණයෙන් මග පෙන්වා ඇති ආකාරයට සියලු ම පාපයන් හෙවත් අනුමත නොකළ දේ (හරාම්) මගහැර, අනුමත කළ දේ (හලාල්) පමණක්ම කිරීමෙන් ජීවිතයේ සත්‍ය අර්ථ ය වටහා ගැනීමට හැකි බව කියැවේ.


මිනිසාට ශරීරයක් සේම සිතක් ද (ආධ්‍යාත්මයක්) තිබේ. ශරීරය දෘශ්‍යමාන වන අතර සිත (ආධ්‍යාත්මය) දෘෂ්‍යමාන නොවේ. එනිසාම දෝ මිනිසා දෘෂ්‍යමාන සිරුරේ සැපය සඳහා එහි තෘප්තිය සඳහා අසීමිත වෙහෙසක් දරති. දැඩි වෑයමක් දරති. එනිසා මිනිසාගේ සිත ද ආත්මයද ලෞකික තෘප්තිය සැබෑ තෘප්තිය ලෙසින් මුලාවෙන් භාරගෙන ඊට නතු වෙති. එහෙයින් මිනිසුන් බොහෝ විට අනුමත කළ ක්‍රියා සේම අනුමත නොකළ ක්‍රියා ද බෙහෙවින් කරති. ඉදින් හොඳින් නරක වෙන් කර ගන්නා අර්ථයෙන් නැත්නම් අනුමත ක්‍රියාවන්ගෙන් අනුමත නොවූ ක්‍රියා වෙන්කර ගනිමින් කටයුතු කිරීමට ඇතැම් විට ඔවුහු අසමත් වෙති. එනයින් මිනිසා පාප ක්‍රියාවලින් පුණ්‍ය ක්‍රියාවන් වෙන් කර ගැනීමට අසමත්ව කටයුතු කරති. මිනිසාට මෙලොව ජීවිතය ලබා දුන් අල්ලාහ් සූබානූව තා ආලා ඔවුනට ලබා දුන් ජීවිතයෙන් අපේක්ෂා කළ යහපත් ශුද්ධ උතුම් අරමුණු තේරුම් ගෙන ඒ සඳහා කැපවීමට වාර්ෂිකව සිදුකරන සිහිකැඳවීමක් වශයෙන් ද රාමදාන් උපවාස සීල සමය පෙන්වාදිය හැකිය.

තව ද මිනිසුන් ලෞකික සැප සම්පත් වල අසීමාන්තිකව ගැලෙන විට හෙවත් ශරීරයට අධික සැප සම්පත් දීම කරන විට ජීවිතයේ පරමාර්ථය ආත්මාර්ථකාමීව සැප විඳීම යැයි මෝඩ සිතිවිල්ලක් ඇතිකර ගනියි . එමගින් මිනිසාට මැවුම් කරුවාණන් වහන්සේ උපතින් පිරිනැමූ සර්ව සාධාරණ සහෝදරාත්මක ආදරය හා සමානාත්මතා වටිනාකම වැනි සහ කම්පනයෙන් යුත් පරම රමණීය ආනන්දනීය
සිතුවිලි සහිත සිත මුලාවට පත්වෙනු ඇත.

ඉදින් එසේ කිලිටි දූෂ්‍ය වූ සිත යළිත් ශුද්ධ පවිත්‍ර කරගෙන අප මෙලොවට එවූ තැනැන් වහන්සේගේ උත්තරීතර අභිප්‍රාය වෙනුවෙන් කැප කරන්නට සිහිය එලවාදෙන, සත්‍ය අවබෝධය ලබා දෙන රාමදාන් ශීලය තුළ පුද්ගලයා හික්මීමකට ලක් කිරීමෙන්, වැරදුනු තැන් නිවැරදි කරගෙන ඉදිරියට යෑමට සෑම වසරකම මැවුම්කාරයාණන් වහන්සේ මිනිසාට මහත් කරුණාවෙන් ආදරයෙන් ම පිරිනමන මිල නොකළ හැකි අවස්ථාවක් වශයෙන් ද රාමදාන් මාසය හඳුන්වා දිය හැකිය.

ඒ අනුව මිනිසාට සැබෑ බුද්ධිය ප්‍රඥාව ආලෝකය පහළ කරගෙන ඔහූට මහ පොළවේ ලැබී ඇති ජීවිතය ඉතා කෙටි තාවකාලික එකක් බව අවබෝධ කරගෙන මෙහිදී ලැබුණු ලබාගත් සියල්ල හැර දමා යා යුතු බවත්, පසක් කරගෙන මෙලොවදී අතහැරීමට හුරුපුරුදුවීමෙන් 
උන්වහන්සේගේ සෙවණේ සදාකාලික වූ නොවෙනස් වන පරමානන්දනීය සතුට සුවය අඛන්ඩව හිමි කර ගැනීමට මග විවරවන බව රාමදාන් උපවාස සීල සමයේ පවත්වන සමාන්තර ආගමික වතාවත් වලින් අවධාරණය කෙරේ.

රාමදාන් උපවාස ශීල කාලය උතුම් වත් පිළිවෙත් සමූහයකින් යුක්තය. රාමදාන් අවධිය ආරම්භයේ රාත්‍රිය කාලයේදී කරන විශේෂ නැමදුම (කියාමුල්ලඉල්) දාන පරිත්‍යාගය (සකාතූල්ෆිතර්) රාත්‍රිය මුළුමනින්ම මස්ජිදයේ රැඳී සිටිමින් ආගමික වතාවත්වල නියැලීම (ඉහ්තිකාෆ්) අල් කුරාණය පාරායනය කිරීම (තිලාවත්)මෙන්ම ලෙයිල තුල් කදර් නම් අග්‍රගන්‍ය රාත්‍රියේ නැමදුම සහ දූආ ප්‍රාර්ථනා කිරීම එවන් උතුම් වත් පිළි සමූහයකි .
එම වත් පිළිවෙත් සියල්ලගේම කේන්ද්‍රීය අරමුණ වන්නේ අල්ලා සුබානුව තා ආලා පහළ කළ ශුද්ධ අල් කුරානයේ ලියැවී ඇති සද්ධර්මයට අනුව පුද්ගලයා සිය පෞද්ගලික ජීවිතය හා සමාජ ජීවිතය මෙන්ම අධ්‍යාත්මික ජීවිතය සාක්ෂාත් කර ගනිමින් ප්‍රඥාවන්තව සත්‍යය අවබෝධ කරගැනීම සහ ඒ අනුව මහපොළොවේ ජීවිතය ගත කළ යුතු බවයි.

තවද උපවාස සමයේදී අලුයම් කාලය ආරම්භවීමට ප්‍රථම ආහාර අනුභව කොට අනුභවය නවත්තාලීමෙන් පසුව ඉර බැස යෑමත් සමඟ උපවාසය අත්හැරීමත් ඇස, කන, නාසය, දිව, ශරීරය, යන පංචේන්ද්‍රයන් මනා ලෙස අවබෝධයෙන් සංයමයට ශික්ෂණයට ලක් කර ගැනීමත් දවසේ තමනට ඇති හැකියාව අනුව නමස්කාර හා යාඥාවන් සිදුකිරීමත් සිය ජීවන යුතුකම්, වගකීම් නිසි ලෙසට ඉටු කරමින් මෙම උතුම් උපවාස ශීලය පුරන්නේ කවර අරමුණකින් ද යන්න නිතර මෙනෙහි කරමින් උපවාසය පිරීම සිදු කළ යුතු වීම
රාමදාන් සීලය පරම විශ්ව ප්‍රේමීය උතුම් ආගමික වතාවතක් බව පෙන්නුම් කරයි. 

ඒ අනුව උපවාසය පුරන්නා උපරිම ලෙස නමස්කාරය කළ යුතු සේම අල්ලාහ් තහනම් කළ කිසිවක් නොකර දෛනික ජීවිතයේදී සාමාන්‍යයෙන් දැන හෝ නොදැන කරන කරන බොරුකීම, කේලාම් කීම, ඕපාදූප කතාකිරීම, රැවටීම, වංචාව, සොරකම, සූරාකෑම වැනි ක්‍රියා කිසිවක් නොකළ යුතු සේම සකාත් ලබාදීම තම රාජකාරිය යුතුකම් වගකීම් හරියට අකුරට තිතට ඉටූ කිරීම තුළින් තමන් තූළින්ම තම ආධ්‍යාත්මික දියුණුව උදා කරගෙන මහ පොළොවේ ජීවිතයද සාර්ථක කරගෙන මැවුම්කාරයන් සමඟ වූ සදාතනික ජීවිතයට ඇතුළත් වීමේ දොරටුවද විවෘත කර ගැනීමට කටයුතු කළ යුතුයි 

ඒ අනුව රාමදාන් උපවාස සීලය වාර්ෂික පැවැත්වෙන දිවා කාලයේ ආහාර අනුභවයෙන් වැළකී සිටින හුදූ ආගමික වතාවතක් නොව සැබවින්ම එය පුද්ගලයාගේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් ඒකාලෝක කරන ශ්‍රේෂ්ඨ උතුම් අමිල අගයකින් යුත් ආගමික වත්පිළිවත් පිරීමකි, මහත් වූ පූජාවකි, පුණ්‍යක්‍රියාවකි.

ජේෂ්ඨ මාධ්‍යවේදී විශ්ව කලා ශ්‍රමික සංසදයේ සභාපති
සරත් කුමාර දූල්වල

Post a Comment

0 Comments