SRI LANKA


 

ඥානසාර හාමුදුරුවෝ මේ මොනවද කරන්නේ?


පසුගිය දා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්  බැහැ දැක ආසිරි ලබා ගැනීමට පැමිණි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් උන්වහන්සේ ලා බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ පාස්කූ ප්‍රහාරයේ මහ මොලකරුවන් කවුදැයි උන්වහන්සේ දන්නා බවත්, නමුත් එම තොරතුරු මාධ්‍යයට ප්‍රකාශ නොකරන බවත්, වත්මන් ජනාධිපතිතුමා හෝ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට පමණක් ප්‍රකාශ කරන බවත්ය.

එමගින් උන්වහන්සේ බලාපොරොත්තු වූයේ පුවත ජනමාධ්‍යයෙන් වාර්තා වූ සැනින් ජනාධිපතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා උන්වහන්සේට ආරාධනාවක් කරයි, යන්න නොවන බව ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. 

එවැනි සැඟවනු අරුත් ඇති ප්‍රකාශයන් මත උන්වහන්සේට ආරාධනා කිරීමට තරම් වත්මන් ජනාධිපතිවරයා දේශපාලන වශයෙන් ද බුද්ධිමය වශයෙන් ද,ආරක්ෂක ලේකම්වරයා පරිපාලන වශයෙන් හා බුද්ධිමය වශයෙන් ද පරිණත නොවූ අඳබාල පුද්ගලයන් නොවන බවද ඕනෑම කෙනෙකුට වටහාගත හැකිය. 

මෙවැනිම ඊනියා ප්‍රකාශයක් හිටපු ජනාධිපතිවරයකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ද මහනුවර දී කලකට පෙර ප්‍රකාශ කළ බව රටේ ජනතාවට මතක ඇත.

රටේ අහිංසක පුරවැසියන්ගේ ජීවිත සිය ගණනක් අහිමි කරමින් සහ බොහෝ පිරිසක් සදාකාලික වින්දිතයන් බවට පත් කරමින් සිදුකළ ඒ ලේ වැගිරීම් සිදුවීම දඩ මීමා කරගෙන කරන පාපතර පාහර දේශපාලනයට අප ජාතියක් ලෙස තිත තැබිය යුතුව තිබේ.

එසේ වුවත් එකම සිදුවීම යළි යලිත් එවැනිම ස්වරූපයෙන් මතුවීම මගින් පෙන්නුම් කෙරෙන යතාර්ථය ගැන රටක් ලෙස ජාතියක් ලෙස අප මීට වඩා සංවේදී අවධානයක් යොමුකර ඇති විය හැකි අවධානම හෝ අනතුරුදායක තත්ත්වයන් වළක්වා ගැනීමට නිසි පියවර ගත යුතුව ඇත.

මා මෙම ලිපියෙන් අවධාරණය කරන්නට උත්සාහ කරන්නේ එම තත්ත්වයයි. 

ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් මහනුවර මල්වතු පාර්ශවයේ උත්තරීතර මහා නායක හිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ උත්තරීතර මහා නායක හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබාගැනීමට පැමිණෙන්නේ සාමාන්‍ය බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නොකරන ලෙසින් රැවුල වවාගෙනයි, 

එහිදී උන්වහන්සේ සඳහන් කරන්නේ තමන් වහන්සේ රැවුල වවාගෙන ඉන්නේ භාරයක් ඔප්පු කිරීමට බවයි. බාරය කුමක්දැයි උන්වහන්සේ එහිදී ප්‍රකාශ නොකළ ද උන්වහන්සේ සරණ ගොස් ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ ද නැත්නම් වෙනත් දෙවියකුද ? යන්න පිළිබඳ ප්‍රශ්නයක් සාමාන්‍ය බෞද්ධ මෙන්ම බෞද්ධ නොවන පුරවැසියෙකුටද ඇතිවෙන්නට පුළුවන.

ඒ කොයි හැටි වෙතත් උන්වහන්සේගේ පැවිදිකමේ හා භික්ෂු ප්‍රවෘජ්ජාවේ සහ සීලයේත් බෞද්ධකමේත් පමණ ගැන තක්සේරුවකට එළඹීමට ද උන්වහන්සේගේ එම ප්‍රකාශය තුළින් පිළිවන. නමුත් මෙම ලිපියේ අරමුණ ඒ ගැන විමසා බැලීම නොවන හෙයින් ඒ ගැන සිතාගැනීමට පාඨක ඔබට බාර කරමි.

නමුත් උන්වහන්සේගේ අතීත චර්යාවන් බොහෝවක් සේම, එම බාරය ගැන කියන කතාවද රට ජාතියට නැති සතුරෙකුගෙන් රට බේරා ගැනීම වෙනුවෙන් සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් වෙත පොරොන්දු වූ බාරයක් ලෙස හඳුන්වා උන්වහන්සේගේ කූප්‍රකට ජාතිවාදය ඇවිස්සීමේ වැඩපිළිවෙළකට ජනතාව රවට්ටා පොළඹවා ගැනීමට ප්‍රකාශ කරන මුසාවාදයක් දෝ යන කුකුස මා තුළ ඇති බවද සඳහන් කරමි.

ඥානසාර හිමියන්ගේ මහනුවර ප්‍රකාශයන් පසුව උන්වහන්සේ මාධ්‍යවේදී චමුදිත සමග කල සම්මුඛ සාකච්ඡාවක් youtube නාලිකාව හරහා මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරමින් පවතී. එහිදී චමූදිත කළ ප්‍රශ්න විමසීම් හමුවේ උන්වහන්සේ කරන හෙළිදරව් මගීන් උන්වහන්සේගේ මහනුවර ප්‍රකාශය යළිත් මෙරටේ ජාතිවාදය ඇවිලවීමට දරණ කු ප්‍රකට දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රයත්නයක් දැයි මෙරට සබූද්ධික ජනතාව අතර අද කතාබහට ලක් වෙමින් පවතී 

ඥානසාර හාමුදුරුවෝ පාස්කූ ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදීන්ගේ මහ මොලකරු හා මෙතෙක් අත්අඩංගුවට පත් නොවූ අනෙකුත් ත්‍රස්තවාදීන් දන්නේ නම් ඔවුන් කවුදැයි හෙළි කිරීමට උන්වහන්සේට අද කිසිදු බාධාවක් ඇත්තේ නැත.

නිදහසින් පසු ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී සියලු ජාතීන්ගේත් බෞද්ධ, හින්දු, කිතුණු, ඉස්ලාම් යන ආගම් අදහන ජනතාවගේත් එක්සත් කැමැත්තෙන් සිය දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් මෙරට ජාතිවාදය, ආගම්වාදය මුලිනුපුටා දමන බවට පොරොන්දු වූ රජයක් බලයට පත් වී තිබේ. 

රටේ විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ මැතිවරණයේදී ජාතිවාදයෙන් ආගම්වාදයෙන් තොර සමාජයක් බිහි කිරීමේ ප්‍රතිඥාව ජනතාව හමුවේ තබා "එහෙම රටක් නේද ඕනෑ" යනුවෙන් වේදිකාවක් වේදිකාවක් පාසා ජනතාවගෙන් විමසා සිටි ජනාධිපති අපේක්ෂකයා දැන් ජනතාව විසින් පත්කරගෙන ඇත. එතුමා දැන් රටේ විධායක ජනාධිපතිවරයායි.

ජනතාව ඔහුව බලයට පත් කළා පමණක් නොව එම ප්‍රතිඥාව ඉටුකිරීම සඳහා කටයුතු කිරීමට ඇවැසි ශක්තිමත් රජයක් පිහිටුවා ගැනීමට ඇවැසි බලයද ලබාදී ඇත. ඒ අනුව රජය ඒ සඳහා ඉහළ ප්‍රමුඛතාවයකින් කටයුතු කරමින් සිටින අතර පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම සඳහා ඒ මහා ත්‍රස්තවාදී අපරාධයේ වගකිවයුත්තන් හෙළිදරව් කර ගැනීමේ වැඩපිළිවෙලද දියත් කර තිබේ. 

ඒ සඳහා ශානි අබේසේකර වැනි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්දැකීම් බහුල නිළධාරීන්ට එම වගකීම පවරා තිබේ.
 
ඥානසාර හාමුදුරුවන්ට උන්වහන්සේ දන්නා නිශ්චිත තොරතුරු එම පරීක්ෂණ කණ්ඩායම්වලට ලබා දීමට කිසිදු බාධාවක් නැත. 

තවද උන්වහන්සේ එම තොරතුරු ජනාධිපතිතුමාට හෝ ආරක්ෂක ලේකම්වරයාට පමණක් පැවසිය හැකි බව මාධ්‍යයට ප්‍රකාශ කර කර සිටීමට ඕනෑ නැත. 

උන්වහන්සේ රටම දන්නා සුප්‍රසිද්ධ හිමිනමකි. උන්වහන්සේට පහසුවෙන්ම ජනාධිපතිතුමාට හෝ ආරක්ෂක ලේකම්වරයාට හෝ සෘජුව දුරකථනයෙන් අමතා අදාල තොරතුරු ලබාදීමට දිනයක් වේලාවක් වෙන්කර ගත හැකිය. එහිදී උන්වහන්සේට චමුදිත සමග පැවති සාකච්ඡාවේදී ප්‍රදර්ශනය කරමින් කතා කළ සියළු ලිපි ලේඛන අණ පනත් ඔවුනට ලබාදිය හැකිය. තවද උන්වහන්සේට ලිපියක් ලියා ජනාධිපතිතුමාගෙන් ම හෝ ආරක්ෂක ලේකම්තුමාගෙන් ද අවස්ථාවක් ඉල්ලා සිටිය හැකිය. එසේත් කැමති නැත්නම් ශ්‍රි ලංකාවේ සිටින විදේශ තානාපති කාර්යාලයක සහාය ලබාගෙන එම හමුව සංවිධානය කර ගත හැකිය. එසේත් නැත්නම් මල්වතු අස්ගිරි විහාරස්ථානවල මහනාහිමිවරු මගින් 
එම අවස්ථාව සලසා ගත හැකිය.
එලෙස උන්වහන්සේ අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේ දී උන්වහන්සේලාගෙන් එවැනි ඉල්ලීමක් කළ බවක්ද ප්‍රකාශ නොකරයි.

අනෙක් අතට චමුදිත සමග පැවති සාකච්ඡාවේදී උන්වහන්සේම සඳහන් කරන ආකාරයට එවැනි තොරතුරු දැන දැනත් ඒවා සඟවාගෙන සිටීම නීතිය ඉදිරියේ බරපතළ වරදක් වන හෙයින් සුපසල ශික්ෂාකාමී ආදර්ශමත් භික්ෂූන් වහන්සේ නමක් ලෙස බුදුරජාණන් වහන්සේ ද අනුදැන වදාළ ලෙස රාජ නීතියට ගරුකර උන්වහන්සේ දන්නා දේ ප්‍රකාශ කිරීම උන්වහන්සේගේ පැවිදි වගකීමක් සේම පුරවැසි වගකීමක්ද වන්නේය.
 
තවද රට ජාතිය ආගම ගැන මහා කැක්කුමක් ඇතිබව ප්‍රකාශ කරන උන්වහන්සේට පාස්කු ප්‍රහාරය වැනි අපරාධයක් කළ තැනැත්තන් හෙළිදරව් කිරීමට කවර හෝ සීමාවක් කොන්දේසියක් තිබිය යුතුදැයි අප උන්වහන්සේගෙන් මහත් ගෞරවයෙන් 
විමසා සිටින්නෙමු.

ඥානසාර හිමිපාණන් සිය රැවුල වවන්නේ "බාරයක් ඔප්පු කිරීම සඳහා" යයි ප්‍රකාශ කොට එම බාරය කුමක්දැයි ප්‍රකාශ නොකරනවා සේම, මහනුවරදී ජනමාධ්‍යයට කළ ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් අනතුරුව මාධ්‍යවේදී චමුදිත සමග කළ සම්මුඛ සාකච්ඡාවේදිත් උන්වහන්සේ ප්‍රයත්නයක් දරන්නේ රට ජාතිය වෙනුවෙන් සිය යුතුකම ඉටුකිරීම සඳහා නොව උන්වහන්සේ පමණක් දක්නා සඟවුණු න්‍යාය පත්‍රයකට කටයුතු කිරීමට
ඇවැසි මතවාදයක්, සැකයක්, කූකූසක් සමාජය තුළ රෝපණය කිරීමට බව ඉතා පැහැදිලිය. 

ඒ අනුව ඥානසාර හිමියන්ගේ මේ හැසිරීම් විලාසයෙන් ගම්‍ය කරන්නේ උන්වහන්සේ එක්කෝ එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඇතැම් ජාතිවාදී පක්ෂවලට සහාය වන මතවාදයක් රෝපණය කිරීමේ කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමක් හෝ ජනතාව තුළ මුස්ලිම් ජනයා කෙරෙහි අප්‍රසාදයක්, පිළිකුලක්, වෛරයක් ද්වේශයක්  ඇතිකර උන්වහන්සේගේ නායකත්වයෙන් ඇති බොදු බල සේනා සංවිධානයට අහිමිව ඇති සුජාතභාවය යලි ලබා ගැනීමට කටයුතු කරනවාදැයි සාධාරණ සැකයක් මතුවේ
ඒ අනුව ඥානසාර හාමුදුරුවෝ එලෙස මහනුවරට සිය රැවුලත් වවාගෙන පැමිණ, මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැක, අනතුරුව මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින්, වත්මන් ආණ්ඩුව අපගේ මාතෘ භූමියෙන් ජාතිවාදී දේශපාලනය මුලිනුපුටා දැමීමට ගෙන යන මතවාදී වූත්, ප්‍රායෝගික වූත් වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට යම් උත්සාහයක් දැරූ බව ඉතා පැහැදිලිය. ඒ සඳහා උන්වහන්සේ ඉතා කුමන්ත්‍රණකාරීව හැසුරුණු බව ද මෙහිලා නිරීක්ෂණය වන අනෙක් වැදගත් පසුබිමයි.

මහනුවරදී පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් උන්වහන්සේ දන්නා බවත්, ඔවුන් ගැන ජනාධිපතිතුමාට පමණක් කියන බව පැවසූ උන්වහන්සේ පසුව සිය ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස චමුදිත සමග කළ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ අවස්ථාවේ, මෙරට මුස්ලිම් ප්‍රජාවේ කොටසක් අපේ රට නිදහස ලබන අවධියේ සිට රට අස්ථාවර කිරීමට, ඉස්ලාමීය අන්තවාදයක් පැතිරවීමට, වැඩපිළිවෙළක් තිබූ බවට ජනතාව තුළ වෛරයක්, ක්‍රෝධයක් ඇතිවන ආකාරයට පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන සූක්ෂමව ගොතන ලද පදනම් විරහිත ප්‍රකාශ ගණනාවක් කරනු ලබයි .

එහිදී නැගෙනහිර කල්මුණේ පළාතේ, "සුපර් මුස්ලිම්"නම් සංවිධානයකට නායකත්වය දෙන රජයේ වෛද්‍යවරයෙක් ගැන සඳහනක් කරමින්, ඔහු විසින් මරාගෙන මැරෙන කණ්ඩායමක් ගොඩනැගීමට පතුරුවන ඊනියා මතවාදයක් ගැන ප්‍රකාශ කරමින්, සිංහල හා කතෝලික ජනයා තුළ බියක් ,සැකයක්, ද්වේශයක් ,වෛරයක් පැතිරවීමට චේතනාන්විතව කරුණු ප්‍රකාශ කරයි.

උන්වහන්සේ එහිදී ඉස්ලාම් ආගමේ එන  ජිහාඩ් සංකල්පය විකෘති කර භාවිතා කරන මුස්ලිම්වරුන් ගැන සදහන් කරමින් ඉතා සූක්‍ෂම ලෙස ශුද්ධවූ අල් කුර්ආණයේ සඳහන් ඉහල අධ්‍යාත්මික වටිනාකමක් ඇති ඉගැන්වීම් සූක්‍ෂම ලෙස නිග්‍රහයට ලක් කරන අතර, තිස් අවුරුදු උතුරේ යුද්ධය ජයගැනීමට බුද්ධි අංශ තුළ ක්‍රියාත්මක වූ ,මුස්ලිම් ජාතික බුද්ධි නිලධාරීන් විසින් සිදුකළ මෙහෙය හෑල්ලුවට ලක් කරමින්  ඔවුන් මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම් පුහුණු කල බව ආදී සාධාරණ සැකයෙන් ඔබ්බට කිසිසේත් ඔප්පු කිරීමක් නොකෙරන මිත්‍යා හිතලු සමූහයක් ප්‍රකාශ කරයි. 

චමුදිත සමඟ සාකච්ඡාවේදී උන්වහන්සේ එවැනි අසත්‍යය ප්‍රකාශ ගණනාවක් කරන අතර, මා ඒවා මෙම ලිපියේ නැවත උපුටා නොදක්වන්නේ අනියමින් හෝ උන්වහන්සේගේ මිත්‍යා හිතලු ප්‍රකාශ ජනගත කිරීම නොකළ යුතු හෙයිනි.

ඥානසාර හිමි මේ සඳහා තෝරා ගන්නා කාලවකවානුව ද, උන්වහන්සේ හිතාමතා චේතනාන්විතව ජනවර්ග අතර වෛරය, අවිශ්වාසය, සැකය ,ද්වේශය ඇති කිරීමට ඉවහල් වන සේ යොදා ගැනීමද ප්‍රකටව පෙනෙන කරුණකි.

මේ මුස්ලිම්වරුන්ගේ රමළාන් උපවාස සමයයි. ඉස්ලාමීය බැතිමතුන් රමළාන් උපවාසය නැමැති ගිහි ශීලය පුරන සමයයි. මේ සමයේදී මුස්ලිම්වරුන් ඉවසීම, සාමය, සංහිඳියාව ,මානව දයාව, විශේෂයෙන්ම දානය, අර්ථ චර්යාව සිය ජීවිතය පුරාවට ම පවත්වාගෙන යාමට පුරුදු පුහුණුවන, සහ අධිෂ්ඨාන කර ගන්නා උතුම් උත්කර්ෂවත් සමයයි

එසේම කිතුනු බැතිමතුන් සිය අළු බදාදා මෙහෙයන් අවසන් කර සිය චාතාරික සමයේ වත්පිළිවෙත් ඉටු කරන සමයයි. එසේම බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමට අප්‍රේල් මාසයේ කටයුතු කර ඇති බැවින්, බෞද්ධයන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩෙන යුගයයි. එසේම හින්දු හා බෞද්ධ ජනතාවගේ හිරු පිදීමේ චාරිත්‍ර වාරිත්‍ර සහිත අන්‍යෝන්‍ය බැඳීම් සහෝදරකම් තරකර ගන්නා උසස් සංස්කෘතික ලක්ෂණ ඇතිව සමරන සිංහල දෙමළ අලුත් අවුරුදු උදාවන සමයයි.

ඉතින් ඒ සමයේ රටේ ජීවත්වන සියලු ජන කොටස් සාමය, සහෝදරත්වය, සංහිඳියාව අන්‍යෝන්‍ය ප්‍රේමයෙන් බැඳෙන අවධියයි.

ඒ අවදියේ ශ්‍රී ලංකාවාසී සියලු ජනයා අතර එකමුතුකමේ, එක්සත් කමේ ,අගනා ආකල්ප වර්ධනය වන සමයයි. වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව එලෙස උදාවෙන පළමු සමයයි.

 එම සමයේ ජන හදවත් තූළ ගොඩනැගෙන උසස් උත්තරීතර හැඟීම් විනාශ කර දැමීමට උන්වහන්සේ මේ අවස්ථාව තෝරාගත් බව මාධ්‍යවේදී චමුදිත සමග කළ සාකච්ඡාවේදී උන්වහන්සේ චේතනාන්විතව ප්‍රයත්න දැරූ බව එම වීඩියෝව නරඹන සබුද්ධික ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි බව මෙහිලා සනිටුහන් කරමි.

තවද මේ වනවිට ලක්වාසීන් ගමේ ඡන්දය යනුවෙන් හඳුන්වන පළාත් පාලන මැතිවරණය ද ප්‍රකාශයට පත්කර ඇති හෙයින් කාගේ හෝ බංකොලොත් ජාතිවාදී දේශපාලන කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් ඥානසාර හාමුදුරුවෝ එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් මරා ගැනීමට උත්සාහයක් දරුවාද යන තත්ත්වය ද මෙහිලා පෙන්නුම් කෙරේ.

ඥානසාර හාමුදුරුවන්ගේ අභිප්‍රාය කුමක් වුවද මේ රටේ අතිමහත් බහුතර සිංහල, දෙමළ,මුස්ලිම්,හින්දු ,ක්‍රිස්තියානි ,ඉස්ලාමීය ජනතාව මෙවැනි අඳබාල ප්‍රයත්නයන්ගෙන් තවදුරටත් ඇවිස්සිය නොහැකි බව ද මෙහිලා සඳහන් කළ යුතුය. එනමූත් ඉතා කුඩා සිද්ධියකින් හෝ ඇවිස්සීමකින් මුළු රටම විනාශ මුඛයට ඇද දමන සිදුවීම් අපේ රටේ ඈත ඉතිහාසයේ මෙන්ම මෑත ඉතිහාසයේත් සිදුවී ඇති බැවින් මේ අවස්ථාවේ නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බලධාරීන්ට පැවරෙන අතිමහත් වගකීමක් පවතින බවද  සඳහන් කළ යුතුය.

නිදහසෙන් පසු ඉතිහාසය පුරාම විටින් විට අපේ රටේ ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ඇති වූ අවස්ථාවන්වලදී එම කාල වකවානුවල  බලයේ සිටි පිරිස් එම සිදුවීම් සිය දේශපාලන පැවැත්ම උදෙසා එක්කෝ නොසලකා හරිමින්, නොඑසේනම් මඟහැර සිටිමින් හෝ ඇතැම් විට ඒවා දැක දැකත්, ඒවායේ පල විපාක දැක දැකත් නොදැක්කාසේ හැසිරවූ දේශපාලන භාවිතය හේතුවෙන් අළු යට සැඟවුණු ගිනි පුපුරු ලෙසින් ඒවා යළි යළිත් මතු වූ බව අප මෙහිදී පෙන්වා දිය යුතුය. ඕනෑම සිදුවීමක ආරම්භයේදීම ඒ ගැන ගැඹුරින් සොයාබලා පවතින නීතියට අනුව ඒවා පාලනය කර මැඩපවත්වා මුලිනුපුටා දැමීමට කටයුතු නොකිරීම තුළ එම ප්‍රපංචයන් මැතිවරණ සමයන්හිදී ඡන්දය ලබා ගැනීමට අලෙවි කරන ප්‍රධාන කරුණු බවට පත්වූ ඉතිහාසයක් අපට තිබිණි. එනිසා ඉතිහාසය පුරා කරගත් ඒ වැරැද්ද අපි යළිත් නොකළ යුතු වෙමු.

මෙහිදී වත්මන් රජය බලය ලබාගැනීමට ජනවරම ඉල්ලා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය වන "පොහොසත් රටක්- ලස්සන ජීවිතයක් "?ප්‍රතිපත්ති ප්‍රකාශයේ 200 වන වන පිටේ "නීතිය මත පාලනයක්" (Rule of law) පරිච්ඡේදයේ මූලධර්ම ලෙස සටහන් කර ඇති 
01. සාධාරණ හා සමානව නීතියේ රැකවරණය 
02. විනිවිද භාවය හා කාර්යක්ෂමතාවය 
03. ස්වාධීනත්වය හා ජනතා විශ්වාසය 
යන මූලධර්ම අනුව කටයුතු කළ යුතුය.

 එලෙසම එහි 229 වන පිටෙන් ආරම්භ වන අවසාන පරිච්ඡේදයේ සඳහන් ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීමේ මූලධර්මවල සඳහන් ජාතිවාදී කුලවාදී හා ආගමික මතවාද ආදියෙන් නොබෙදුණු සහජීවනයෙන් සහ සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලාංකීය ජනතාවක් ගොඩනැගීමට දුන් පොරොන්දු ඉටු කිරීම ප්‍රමුඛ කාර්යයක් කොට සැලකිය යුතුය. ආණ්ඩුව එළඹෙන පළාත් පාලන මැතිවරණය,හා පළාත් සභා මැතිවරණවලදී සිංහල බෞද්ධ මිනිසුන්ගේ ඡන්ද හැසිරීම ආගම්වාදී වෙනු ඇතැයි වැරදි ලෙස සිතා තීන්දු තීරණ නොගෙන ක්‍රියාත්මක විය යුතු බව ද පැහැදිලිව ඉඳුරාම ප්‍රකාශ කරමි.

අපේ මාතෘ භූමිය වූ ශ්‍රී ලංකාව 1976 මාර්තු 23 බලාත්මක කරන ලද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිගෙන එය ක්‍රියාත්මක කිරීමට එකඟ වූ පාර්ශව කරුවෙකි. එම ප්‍රඥප්තියේ විසිවන වගන්තියේ සඳහන් ආකාරයට අප වෙනස්කමකට වෛරයකට හෝ සාහසික ක්‍රියාවලට පොළඹවන ජාතික වාර්ගික හෝ ආගමික ද්වේශය පැතිරීම නීතියෙන් තහනම් කළ යුතු වේ.

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් 2007අංක56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත සම්මත කරන ලදි. 

අද රටේ ක්‍රියාත්මක වන්නේ එම නීතියයි. නීතිය මත පාලනයේදී නීතිය අනුව ඕනෑම පුද්ගලයකු සඳහා තරාතිරම නොබලා නීතිය මත පිහිටා කටයුතු කළ යුතුය.

එම පනතේ තුන්වන වගන්තියේ මෙසේ සඳහන් වෙයි. 
කිසියම් තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට එදිරිවාදී කම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම නොකළ යුතුය. 

එසේ සිදුකරන හෝ සිදුකිරීමට තැත් කරන සිදුකිරීමට ආධාර අනුබල දෙන සිදුකරන බවට තර්ජනය කරන සෑම තැනැත්තෙක් ම මෙම පනත යටතේ අපරාධයකට වරදකරු වන්නේය. 

මෙහිදී රජය සහ නීතිය ක්‍රියාත්මක කරන බලධරයන් බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් මහනුවරදී කළ ප්‍රකාශය සහ උන්වහන්සේ මාධ්‍යවේදී චමුදිත සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කළ කරුණු පිළිබඳව බරපතළ ලෙස පහත සඳහන් තත්ත්වයන් සලකා බැලිය යුතුව ඇත.

01. උන්වහන්සේ ඉහත සඳහන් ප්‍රකාශයන් කරන අවස්ථාව වන විටත්, ශ්‍රී ලංකාවේ සමාජය තුළ දේශපාලන හා සමාජීය වශයෙන් නොවිසඳුණු ගැටුම්කාරී ඉතිහාසයක් සහ එවැනි ගැටීමක් සුළු පෙළඹවීමකින් හෝ අවස්ථාවකින් පැන නැගිය හැකි වාතාවරණයක පැවතීම.

02. උන්වහන්සේ බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම්වරයා ලෙසින් එම සංවිධානයේ අනුගාමිකයන්ට සහ එම සංවිධානයේ මතවාදයන්ට එකඟවන හෝ අනුකූලතාවය දක්වන පිරිසකට බලපෑමක් කළ හැකි චරිතයක්ව සිටින බව මනා ලෙස තක්සේරු කර ගැනීම.

03. එසේම උන්වහන්සේගේ ප්‍රකාශ වලින් ආගමික වෙනස්කමකට වෛරයකට හෝ සාහසික ක්‍රියාවකට පෙළඹවීමක් සිදුවිය හැකි තත්ත්වයන් (විභවතාවයන්) පැවතින බව නිසි ලෙස තක්සේරු කිරීම. 

04. උන්වහන්සේගේ ප්‍රකාශ තුළින් (පුද්ගලයන්, රැකියාව, ප්‍රදේශ, නිශ්චිතව හඳුන්වාදීමෙන්) යම් පුද්ගලයෙකුගෙන් සාමාන්‍ය සිදුවීමක් ලෙස ප්‍රතිවිපාක ඇතිවන ක්‍රියාවක් සිදුවීමට ඉතා ඉහළ ඉඩ ප්‍රස්ථාවක් පවතින බව තේරුම් ගැනීම.

05. උන්වහන්සේ කළ එම ප්‍රකාශයන් මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක මාධ්‍ය අමතා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශ වීම සහ ජනමාධ්‍ය ප්‍රචාරය ලැබීමත් එසේම චමුදිත සමග කළ සාකච්ඡාව අන්තර්ජාලය හරහා වේගයෙන් ව්‍යාප්ත වීම. අනතුරුදායක බවක් නිර්මාණය කිරීමට තුඩුදිය හැකි බව 

06. එසේම මෙරට ජීවත් වන මුස්ලිම් ප්‍රජාව කෙරෙහි උන්වහන්සේගේ ප්‍රකාශය අනෙක් ජන කොටස්වල ඍනාත්මක ආකල්පයක් ඇති කිරීමට තුඩු දීම.

එහෙයින් මෙවන් මතවාද දිගින් දිගටම රට තුළ පැතිරීම හෝ ඉදිරියේ පැවැත්වන පළාත් පාලන මැතිවරණයන්හිදී එම අදහස් දේශපාලනීකරණය වී ඉදිරිපත්ව ජනගත වීමෙන් ක්‍රමයෙන් රට තුළ ස්ථාපිත වෙමින් පවතින සහජීවනය හා සංහිඳියාවට බාධා එල්ල විය හැකි තත්ත්වයක් පවතින බැවින් මේ පිළිබඳ රජයේත් නීතිය ක්‍රියාත්මක කරන අංශවලත් දැඩි අවධානය යොමු විය යුතු බව ප්‍රකාශ කළ යුතුය..

විශ්ව කලා ශ්‍රමික සංසදයේ සභාපති
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 
සරත් කුමාර දූල්වල

Post a Comment

0 Comments