SRI LANKA


 

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය පිළිබඳ කථිකාව කෙසේ විය යුතුද?


මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියේ සංශෝධනයක් සිදුවිය යුතු බවට මෑත ඉතිහාසයේ ශ්‍රී ලාංකික සමාජයේ ඇතිවී ඇති කතිකාව විටක ඉස්මතු වෙමින් ද, තවත් විටෙක යටපත් වෙමින් ද, නිශ්චිත එකඟතාවයකට නොඑළඹෙන කථිකාවක් ලෙස පවතී.

මේ පිළිබඳව මුස්ලිම් සමාජය තුළ ම පරස්පර විරෝධී මත, අදහස්, තර්ක විතර්ක රැසක් ඉදිරිපත් වෙමින් පවතී.

එම මතවාද තර්ක විතර්ක හේතුවෙන් මුස්ලිම් සමාජය තුළ සිය විවාහ හා දික්කසාද නීතිය පිළිබඳ ඒකමතික තීරණයක් අදහසක් නොමැතිකමෙන් යම් යම් බෙදුම් රේඛා නිර්මාණය වෙමින් පවතින බවද නිරීක්ෂණය වේ.

ඕනෑම සමාජයක දියුණුව, ප්‍රගමනය, උන්නතිය සඳහා ඒ සමාජය කාලානුරූපව මුහුණ දෙන නෛතික හෝ වෙනත් ඕනෑම ප්‍රපංචයක් පිළිබඳ ගැඹුරු කථිකාවක් ගොඩනැගීම එම සමාජයේ දියුණුවට හේතු වේ. නමුත් එලෙස ඇතිවන කතිකාව විසින් එම සමාජයේ එකමුතුකම, එක්සත්කම පොදු එකඟතාවය බිඳ වැටෙනවා නම් එය යහපත් තත්ත්වයක් නොවේ. 

තවද කෙනෙකුට හෝ සංවිධානාත්මක පිරිසකට හෝ ව්‍යාපාරයකට එකී නොඑකඟතා දඩමීමා කරගෙන දේශපාලන හෝ වෙනත් වාසි සලසා ගැනීමට ඒවා යොදා ගැනීමට අවකාශ නොලැබෙන ලෙස එම සංවාද විසංවාද පවත්වා ගැනීම සමාජයේ යහපැවැත්මට හේතු වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කිරීමට එරෙහිව හා පක්ෂව ගොඩනැඟෙන විවිධ මත හා අදහස්, යෝජනා, චෝදනා, විවේචන, තර්ක විතර්ක සියල්ලෙන් අවසානයේ එම සමාජයේ විශ්වාසයන්ට, වටිනාකම්වලට, හර පද්ධති වලට සහ සංස්කෘතියට ගැලපෙන නව සියවසේ සමාජ ආර්ථික සංස්කෘතික යථාර්ථයට ගැලපෙන විසඳුමකට පැමිණිය හැකිවිය යුතුය.

මුස්ලිම් සමාජයෙන් බැහැර සහෝදර ශ්‍රී ලාංකික යකු ලෙස මා මේ ලිපියෙන් අවධාරණය කිරීමට උත්සාහ කරනුයේ එම සංවාදයට සාකච්ඡාවට සම්බන්ධ වී සිටින පිරිසගේ අවධානය යොමු නොවූ වැදගත් කරුණු කීපයක් පෙන්වාදීමටත්, එමඟින් මෙම කතිකාවත වඩාත් ප්‍රශස්ත ලෙස ජය ජය විසදුමක් ලෙසින් හෙවත් සියලු පාර්ශව කරුවන්ගේ තෘප්තියට හේතු වන ලෙස විසඳා ගැනීමට අදහස් කීපයක් ඉදිරිපත් කිරීමයි.

එහිලා පළමුව අප විසින් නීතියක් යනු කුමක්ද? නීතියක් අවශ්‍ය ඇයි? යන මූලික ප්‍රශ්න දෙක සඳහා සරල අදහසක් හෝ ඇතිකර ගැනීම වැදගත් යැයි සිතමි.

මිනිස් හැසිරීම් පිළිබඳ ව මූලධර්මය වන නීතිය මගින් මිනිසුන් හැසිරිය යුතු ආකාරය දක්වයි. පුද්ගලයාට සමාජයේ නිසි ආකාරයෙන් පැවතීමටත්, ගනුදෙනු කිරීමටත්, සාමය, සහෝදරත්වය ඇතිව අන්‍යෝන්‍ය සබඳතා ඇති කර ගැනීමටත් නීතිය පහසුකම් සපයනු ලබයි.

එසේම නීති බොහෝවක් ආරම්භ වී තිබෙන්නේ සිරිත් විරිත් මුල් කරගෙන වීමද අප අමතක නොකළ යුතුය. එසේ වුවත් මිනිස් ක්‍රියාවන් යම් ආකාරයකට පාලනය කිරීමට සිරිතට වඩා අධිකාරී බලයක් නීතියට තිබේ. එම නීති එලෙස සකස් කරන්නේ ද මිනිසා විසිනි. ඒ නිසා වාරිත්‍ර වාරිත්‍ර, සංස්කෘතික උරුම, ආගමික විශ්වාස වශයෙන් ආරම්භ වූ බොහෝ දෑ මිනිසා විසින්ම නීති බවට පත්කරගෙන මිනිස් සමාජයේ අවශ්‍යතාවයන්ට ගැලපෙන සේ යොදා ගැනීම අද දක්වාම සිදුවෙමින් පවතී.

බහු ජන වාර්ගික, බහු සංස්කෘතික, බහු ආගමික රටක් වන ශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතිය ද සකස් වී ඇත්තේ එම ආකාරයටය. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් කෙරෙහි බලපාන එම නීතිය ඉස්ලාම් ආගමික චාරිත්‍ර වාරිත්‍ර හා සමීප සබඳතාවයක් පවතී. එසේම මුස්ලිම් නීතියේ ක්ෂේත්‍රගත මූලාශ්‍රය වන්නේ මුස්ලිම්වරුන් සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින් පහළ කළ බව විශ්වාස කරන අල් කුරාණයයි.

එලෙස ගොඩනැගෙන මුස්ලිම් නීතිය අදාළ වන්නේ ජන්මයෙන් ඉස්ලාම් භක්තික පුද්ගලයන්ට සහ විධිමත්ව ඉස්ලාම් ධර්මය වැළද ගැනීමෙන් ඉස්ලාම් බවට පත්වූ පුද්ගලයන්ය.

ඒ අනුව අපට අද ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය නීතියේ මූලාශ්‍ර ලෙස පහත සඳහන් කරුණූ පෙන්වා දිය හැකිය 
01. ශුද්ධ වූ කුරාණයේ සඳහන් සර්ව බලධාරියාණන් විසින් පහළ කරන ලද මොහොමඩ් නබීතුමන් විසින් දේශිත ඉගැන්වීම් මත එතුමාගේ සභා වරුන්ගේ(අනුගාමිකයන්ගේ) ඉගැන්වීම් 
02. සුන්නා හෙවත් එතුමාගේ ජීවන චරිතයෙන් ප්‍රකට කරන ලද දේ සහ හදිස් ලෙස සලකනු ලබන එතුමන් විටින් විට ප්‍රකාශ කළ අදහස්.
03. ඉජිමා හෙවත් තීන්දු සමූහය සහ කියාස් හෙවත් රීති මූලධර්ම සමූහය 
04. ඉස්ලාම් ආගමේ බල සහිත සහිත පාඨ ග්‍රන්ථ. 
05. සිරිත් විරිත් සහ චාරිත්‍ර. 
06 තීරණයකළ පැරණි නඩු තීන්දු
07. ව්‍යවස්ථා
08. 1806 මුස්ලිම් නීති සංග්‍රහය

මතු කී නීති මූලාශ්‍ර මත ගොඩනැගුණු
ශ්‍රී ලාංකීය මුස්ලිම් නීතිය යොදාගන්නා අවස්ථා ලෙස ......
උරුමය හා මරණය, මරණයෙන් පසු නැවත ඇතිවන වෙනත් සිදුවීම්, විවාහය, දික්කසාදය, බාල වයස්කාර බව, භාරකාරත්වය වැනි අවස්ථා පෙන්වා දිය හැකිව තිබේ. 

ඒ අනුව මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනයකදී ඉහත සඳහන් සන්දර්භය හා නීති මූලාශ්‍ර කෙරෙහි මේ පිළිබඳ කතිකාවට සම්බන්ධ වන සියලු පාර්ශව අවධානය යොමු කළ යුතු අතර, ඒ මත පදනම් එම සංවාදය කිරීමෙන් ඵලදායී නිගමනවලට හෝ එකඟතාවලට එළඹීමට මූලික ප්‍රවේශය විවෘත කරගත හැකිය.

එහිදී දැනට පවත්නා මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියේ පවතින ප්‍රගතිශීලී ලක්ෂණ ආරක්ෂා කරමින් සහ වැඩිදියුණු කරමින්, රටේ පවතින අනෙකුත් විවාහ හා දික්කසාද නීතිවල පවතින ගුණාත්මක තත්වයන් ද සලකා බලමින් ශ්‍රී ලාංකීය ජන වර්ගයක් ලෙස ඉස්ලාමීය ජනතාවගේ විශ්වාසයන් සහ වටිනාකම් සුරැකෙන වත්මන් සමාජ ආර්ථිකය යථාර්ථයන් සමඟ ගැලපෙන නෛතික සංශෝධනයකට එළඹිය හැකිවනු ඇත.

එහිලා තවදුරටත් පෙන්වා දීමට පිළිවන් කරුණු කිහිපයක් ද මෙම සටහනට මා එකතු කිරීමට කැමැත්තෙමි. 

එනම් වඩාත් මතභේදයට ලක්ව ඇති විවාහ වීමේ අයිතිය සැපයෙන වයස නීතිගත කිරීමේ ගැටලුව පිළිබඳවයි.

මීට වසර ගණනාවකට පෙර ඉස්ලාමීය කාන්තා සිවිල් සංවිධානවල ඉල්ලීමකට අනුව ඉස්ලාමීය විවාහ නීතිය සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ලබා ගැනීමට පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තා මෙහිදී සැලකිල්ලට ගත හැකි බවයි.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ සලීමි මර්සුප් මහතාගේ නායකත්වයෙන් පත්කළ කමිටුවක් විසින් වසර නවයක් වැනි දීර්ඝ කාලයකින් පසුව බෙදුණු වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබේ. එක් වාර්තාවක් සලීම් මර්සුප් මහතාගේ ප්‍රධානත්වයෙනුත් අනෙක් වාර්තාව එම කමිටුව නියෝජනය කළ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා හිටපු නීතිපතිවරයෙක් වූ සිබ්ලි හසිස් යන මහතුන්ගේ නායකත්වයෙන් ඉදිරිපත් කළ වාර්තාව වශයෙන් වූ වාර්තා දෙකයි.
ඉන් සලීම් මර්සුප් මහතාගේ පාර්ශවය ඉදිරිපත් කළ නිර්දේශ වාර්තාවේ මතු සඳහන් නිර්දේශ ඉදිරිපත් කර තිබේ ඒවා නම් *මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය යුතු බව, *එවන් සංශෝධනයක් සිදුකිරීමට අකමැති නම් ඉස්ලාමීය සමාජයට රටේ පවතින සාමාන්‍ය විවාහ නීතිය යටතේ විවාහයක් කර ගැනීමට ඉඩ දිය යුතු බව *කිසියම් නොවැළැක්විය හැකි හේතුවක් නිසා බාලවයස්කාර විවාහයක් සිදු කරන අවස්ථාවක එම දරුවා වෙනුවෙන් සිදු කරන කාර්යයන් පිළිබඳ ව ක්වාසි අධිකරණය සෑහීමට පත්වන්නේ නම් පමණක් එම විවාහයට ඉඩදිය යුතු බව. 

*ක්වාසි අධිකරණය රටේ අධිකරණ පද්ධතියට ඇතුළත් කර එම අධිකරණයේ තත්ත්වය ඉහළ නැංවීම *ඉස්ලාමීය බැතිමත් කාන්තාවන්ට එම අධිකරණවල සේවය කිරීමට හා විවාහ ලියාපදිංචි කිරීමට විවාහ රෙජිස්ටාර් තනතුරු ලබාදීම. .

නමුත් එම කමිටුවේ ම සාමාජිකයන් වූ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ෂිබ්ලී අශීස් යන මහතුන් වෙනම වාර්තාවක් සැපයීමෙන් ඔවුන් ඊට එකඟ නොවූන බව ගම්‍යමාන වේ.

එසේම එම කණ්ඩායම් දෙකේම වාර්තා පිළිබඳව සමස්ත ලංකා ජමීය තුල් උලමා සංවිධානයේ මතය විමසා බැලීම ද මෙහිදී අනිවාර්යෙන්ම සිදුවිය යුතුය. ඉස්ලාමීය ලබ්ධිය විග්‍රහ කරන අර්ථ නිරූපණය කරන එම සංවිධානය විසින් එකී නිර්දේශ තම සමාජයේ විශ්වාසයන් වටිනාකම් කෙරෙහි බලපාන අන්දම පිළිබඳව ද ඔවුන්ගේ මතය සමඟ ගැලපීමක්ද මෙහිදී අනිවාර්යයෙන් සිදුකල යුතු හෙයිනි.

අනෙක් අතට විවාහය, ලිංගිකත්වයට, මානව සංස්කෘතියේ පැවැත්මට සහ සංස්කෘතිකාංගවලට සම්මිශ්‍රණය වූ ප්‍රපංචයක් ලෙස ගත් කළ විවාහ සංස්ථාවේ නිසි පැවැත්මට එළඹෙන කවර හෝ තීරණය කෙසේ බලපානවාද යන්න නිසි තක්සේරුවක් ඇතිව එම තීරණ වලට එළඹීම කළ යුතු බවද මෙහිලා පෙන්වාදීමට කැමැත්තෙමි

ඊට හේතුව වන්නේ විවිධ පර්යේෂකයන් විසින් සිදුකර ඇති පර්යේෂණ අනුව විවාහ සංස්ථාවේ පැවැත්මේ ගැටලු ඇතිවීම කෙරෙහි විවාහ නීති රීතිවල ඇති අඩුපාඩු හා දරිද්‍රතාවය සමාජ ආකල්ප, ආචාර ධර්ම, සමාජ වටිනාකම්, පිළිගැනීම් ආදිය ද තීරණාත්මක බලපෑම් ඇති කරන බැවිනි

එසේම අයිතිවාසිකම් දෘෂ්ටි කෝණයෙන් බලන කළ මුස්ලිම් විවාහ නීතියේ සිදුකරන වෙනස්කම් ශ්‍රී ලාංකීය ජාතියට අයත් ජන වර්ගයක් ලෙස මුස්ලිම්වරුන්ගේ මානව හිමිකම්වලට ආමන්ත්‍රණය කරන්නේ කවර ආකාරයෙන්ද යන්නද සැලකිල්ලට ලක් කළ යුතු අංගයකි..

ඒ අනුව මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීමේ කතිකාව තුළ ඵලදායි නිගමනයකට එළැඹීමට නම්, එවැනි වෙනසක් ඉල්ලා සිටින පාර්ශව සේම ඊට විරුද්ධ පාර්ශ්වයන්ගේත්, මැදිහත් පාර්ශවයන්ගේත්, ආගමික සංස්කෘතිකාංග නියෝජනය කරන පාර්ශවයන්ගේත්, යන සියලු පාර්ශව කරුවන්ගේ ක්‍රියාශීලී විනිවිද පෙනෙන දායකත්වයකින් යුතුව ගත යුතු තීරණයක් බව සනිටුහන් කරමු.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 
සරත් කුමාර දූල්වල

Post a Comment

0 Comments