SRI LANKA


 

2025 උත්තම ශ්‍රී දළඳා ප්‍රදර්ශනය (වන්දනා ව) පුරා සුවඳවත් වූ මුස්ලිම් සහෝදරත්වයේ මනුස්සකමට උපහාර කරමු.


මහා කාරුණික ශාන්තිනායක ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශිත අසූහාර දහසක්  ධර්මස්කන්ධයේ පහස ලැබූ වාම රදනක දන්ත ධාතූන් වහන්සේ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ  ලෙසින් උත්තම ගෞරවාදරයෙන් යුතුව ලෝකවාසී බෞද්ධ ජනතාවත්, බෞද්ධ නොවන ජනතාවත් චිරාගතව පිළිගනිති.

ශ්‍රී ලංකාවේ කිත්සිරි මෙවන් රජතුමාගේ රාජ්‍ය පාලන සමයේ දන්ත කුමරු සහ හේමමාලා කුමරිය විසින් දඹදිව සිට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ලංකාවට වැඩම කිරීමෙන් අනතුරුව දෙවුලේ බමුණන්ගේ මග පෙන්වීම අනුව අනුරාධපුර   මේඝගිරි මඩුකන්ද විහාරයට වැඩම කරවූ බවත්, ඉන් පසුව ලංකාවාසී භික්‍ෂූන් වහන්සේටත්, ජනතාවටත් දළදා ප්‍රදර්ශනයක් පැවැත්වූ බවත් දළදා ඉතිහාසයේ සඳහන් වේ. එය ශ්‍රී ලංකාවේ පැවැත් වූ ප්‍රථම දළදා ප්‍රදර්ශනය ලෙසින් ද සැලකිය හැකිව තිබේ.

 එදා ශ්‍රී දළදා වහන්සේ තැන්පත් කිරීමට සෑදූ මන්දිරය ලංකාවේ ප්‍රථම දළදා මන්දිරය ලෙසින් ද සැලකේ. ඉන් ඉක්බිතිව ලංකාව පාලනය කළ ප්‍රධාන රාජධානිය පැවැති දනව්වට හෙවත් ප්‍රදේශයට  දන්ත ධාතුව වැඩම කරවා මහත් වූ භක්ති ප්‍රණාමයෙන් යුතුව දළදාව සුරැකීම හා වත් පිළිවෙත් චාරිත්‍ර පැවැත්වීම ශ්‍රී ලංකා  රාජ්‍යයේත් පුරවැසියන්ගේත් අනුලංගනීය වගකීමක් ලෙසින් සලකා කටයුතු කර ඇති බව ඉතිහාසය පිරික්සීමේදී සුපැහැදිලිව ගම්‍යමාන වේ.

ඓතිහාසික වශයෙන් කාලානුරූපව එලෙස විවිධ වත් පිළිවෙත් හා පූජා චාරිත්‍ර ආදියෙන් පුද දෙමින්, දන්ත ධාතුන් වහන්සේ ශ්‍රී ලාංකීය ජාතියේත් බෞද්ධ ජනතාවගේත් උත්තම පූජනීය වන්දනීය උරුමයක් දෙසින් අද දක්වාම අඛණ්ඩව අවිවාදිතව පිළිගනිමින් සුරක්ෂා කොට ආරක්ෂා කරමින් තිබේ.
Listen to this article in audio.
Click Here👇
දළදා වංශ කතාවේ ඉතිහාසයට අනුව ශ්‍රී ලංකාවට එල්ල වූ සතුරු ආක්‍රමණ, යුද්ධ ආදියේදී ශ්‍රී දළදා වහන්සේ රැක ගැනීම, ආරක්ෂා කර ගැනීම, රට ආරක්ෂා කර ගැනීමට නොදෙවෙනි කොට සැලකූ බව ද ප්‍රකට වේ.


එසේම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට කරන පුද සත්කාර  තේවාවන් හා පූජාවන් අඛණ්ඩව අනුලංගනීයව පවත්වාගෙන යාම සහතික කරනු පිණිස නීති පනවා දළදා වහන්සේ සුරැකීම හා උන්වහන්සේට නිසි ගෞරවය දැක්වීම නීතියෙන් ද සහතික කර තිබූ බව දළදා සිරිත පරීක්ෂාවේදී පෙනී යයි.

එදා මෙදා තුර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ලෝකවාසී බෞද්ධයන්ගේ ගෞරවනීය උරුමයක් දෙසින් පුද පූජා කරමින් ආරක්ෂා කළ අතර, එමගින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය උරුමයේ සුවිශේෂී පූජනීය උත්තරීතර රාජ්‍ය සංකේතයක් වශයෙන් ද ඉමහත් ගෞරවයට පාත්‍ර වූ බව සඳහන් කළ හැකිය.

එම ඓතිහාසික විශේෂත්වයෙන් ම චිරාගත සම්ප්‍රදායන් අනූව අද වන විටත් දළදා සමිඳුන්ට දෛනිකව අලුයම, උදෑසන සහ සවස තේවා මුර තුනකින් භක්තිමත්ව පූද පූජා පවත්වනු ලබයි.

තවද සෑම වසරක ම ආරම්භයේ අලුත් සහල් මංගල්‍යය, අප්‍රේල් මාසයේදී අලුත් අවුරුදු මංගල්‍යය, ජුලි අගෝස්තු මාස වලදී දළදා පෙරහැර මංගල්‍යය, නොවැම්බර් මාසයේදී කාර්තික මංගල්‍යය යනුවෙන් විශේෂිත පූජා චාරිත්‍ර හතරක් පවත්වනු ලබයි.

එයින් දළදා පෙරහර මංගල්‍යය  දහස් ගණනක් සංස්කෘතික කලා ශිල්පීන්ගේ සහ සිය ගණනක් අලි ඇතුන්ගේත් , ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් ජනතාවගේත් සහභාගිත්වයෙන් විචිත්‍රවත් උත්සවයක් ලෙස පවත්වනු ලබයි.

ඒ අනුව විවිධ කාල වකවානුවල විවිධ අරමුණු පෙරදැරි කරගෙන පවත්වන දළදා ප්‍රදර්ශන (උත්තම ශ්‍රී දළදා වන්දනා) පවත්වනු ලබන්නේ දළදා වහන්සේට දෛනිකව පවත්වන පූජා, තේවා මුර එලෙසින්ම පවත්වමින් මහජනයාට දළදාව සියැසින් දැක බලා වන්දනාමාන කර ගැනීමට ලබාදෙන සුවිශේෂී අවස්ථාවක් ලෙසයි.

මෙහිදී  සිදු කෙරෙන්නේ ශ්‍රී දන්ත ධාතුව වඩා හිදුවා තිබෙන දන්ත ධාතු මන්දිරයෙන් බැහැරට ගෙන ප්‍රදර්ශන කරඬුව නමින් හැඳින්වෙන විශේෂිත වීදුරු කරඬුවක් තුළ වඩා හිඳුවා මහජනයාට සියැසින් දැක බලාගෙන වන්දනාමාන කර ගැනීමට සැලැස්වීමයි.

එවැනි දළදා ප්‍රදර්ශනයක් සඳහා තීන්දු තීරණ ගැනීමේ බලය, අධිකාරිය  පවතින්නේ මල්වතු අස්ගිරි උභය විහාරාධිපති මහා නායක හාමුදුරුවන් දෙදෙනා වහන්සේ සහ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ගිහි භාරකාරත්වය උසුලන දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමන් යන ත්‍රෛපාර්ශවයේ සම්මුති එකඟත්වයකට අනුව වේ.

ඒ අනුව එවන් දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියම කිරීමට හෝ අණ කිරීමක් කිසිවකුට කළ නොහැක. නමුත් ඉහත කී ත්‍රෛයි පාර්ශවීය භාරකාරත්වයෙන් නිශ්චිත අරමුණක් පෙරදැරි කරගෙන කරන ඉල්ලීමකට අනුව දළදා දැක්මක් පැවැත්වීමට අදාළ අනුමැතිය පළ කිරීමට මහානායක හාමුදුරුවන් දෙදෙනා වහන්සේ සහ දියවඩන නිලමේවරයාට එක්ව කළ හැකිය. තවද එවන් අවසරයකින් පවත්වන දන්තධාතු ප්‍රදර්ශනයක් එම ත්‍රෛයි පාර්ශවයේ පූර්ණ අධීක්ෂණයට යටත්ව එතුමන්ලාගේ මග පෙන්වීම අනුව ම සිදුකිරීම සම්ප්‍රදායව පවතී.

ඉතිහාසයේ විවිධ අවස්ථාවල එලෙස පැවති සම්ප්‍රදායට හා පිළිගැනීමට අනුව දළදා දැක්ම හෙවත් ප්‍රදර්ශන  පවත්වා ඇති අතර බොහෝ විට දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත්තේ, යම් නිශ්චිත පොදු අභිලාෂයක් සුවසෙතක්, රටට ජාතියට  ශාන්තියක් උදාකර ගැනීම හෝ දුර්යෝගයකින් ගැලවීමට පිහිට ආශිර්වාදය පතාගෙන බව ද දළදා ප්‍රදර්ශන ඉතිහාසය ගවේෂණයේදී ඉතා පැහැදිලිව ගම්‍යමාන වේ.

ඒ අනුව  නියගයක්, දුර්භික්ෂ තත්ත්වයක්, යුධ බියක්, රෝග බියක්, දුරුකර ගැනීමේන්  රටේත්, ජනතාවගේත් ආරක්‍ෂාව, සුබ සිද්ධියට හේතුවන ලෙස පිහිටක් රැකවරණයක් සලසා ගැනීම වැනි රටටත් ජනතාවටත් යහපතක් සෙතක් ශාන්තියක් යන අභිප්‍රායෙන් ඉතිහාසයේ සිට දළදා ප්‍රදර්ශන පැවැත්වූ බව සඳහන් කළ හැකිය.

මෙහිදී රහසින්වත් පව් නොකළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් කිසිදිනක බොරුවක්, කේළමක්, හිස් වචනයක්, පරුෂ වචනයක් ප්‍රකාශ වී නැති හෙයින් ද, සකල ලෝකවාසී  සත්ත්වයන්ට මෛත්‍රිය, කරුණාව, දයාව, උපේක්ෂාව, ප්‍රඥාව මුල් කරගත් මෙලොව පරලොව දෙකම ජයගැනීමට උදව් උපකාර වන සද්ධර්ම ස්කන්ධයන් අසූ හාරදාහක් පමණ දේශනා කළ හෙයින් ද උන්වහන්සේගේ ඒ මහාර්ඝ පූජනීය ධර්මයේ ස්පර්ශය ලැබූ දන්ත ධාතුවේ එනයින් පවතින අනුහස් ගුණයෙන් පිහිට ලැබේ යැයි යන ශ්‍රද්ධා සම්පන්න ඇදහිල්ල,  නොවෙනස්ව  බෞද්ධ ජනතාවගේ හදවත් තුළ නිදන්ගතව
තිබේ.

අපට ජනමාධ්‍ය තුළින් දැනගැනීමට ලැබුණු ලෙසට මෙවර දළදා ප්‍රදර්ශනයේ අරමුණ ලෙසින් සඳහන් වූයේ, පැවති දේශපාලන තට්ටු මාරු ක්‍රමයෙන් බැහැරව නව රජයක් පත්ව ඇති බැවින් එකී රජයටත්, මහජනතාවටත් ස්වභාවික දුර්යෝග ආදිය ඇති නොවී සාමයෙන්, සතුටින්, සහජීවනයෙන් ජීවත්වීමට සුදුසු වාතාවරණයක් සකසා ගැනීමට දළදා වහන්සේගේ අනුහස් ආසිරි බලයෙන් අවස්ථාව උදා වේවා! යන ප්‍රාර්ථනාව, ඇදහීම පෙරදැරිකර ගෙන මෙවර දළදා ප්‍රදර්ශනය පවත්වන බවයි. 

ප්‍රසිද්ධියේ ප්‍රකාශිත අරමුණ එය වුවත්, ඊට පිටින් සැඟවුණු දේශපාලන අරමුණු රැසක් පවතින බවත්, ඒ සැඟවුණු අරමුණු වල ගොදුරක් බවට මල්වතු අස්ගිරි උභය විහාරාධිපති මාහිමිනාපාණන් වහන්සේ ද හසු වූ බවත්, දියවඩන නිලමේතුමා එය දනිතත් නොදන්නා සේ හැසිරෙන බවත්, මේ දිනවල දළදාව වැඳ පුදා ගැනීමට එන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස ම ප්‍රකාශ කරති.

ඒ අනුව ඉතිහාසයේ කිසිම දිනක නොතිබි ලෙස දළදා ඉතිහාසයේ මකා දැමීමට නොහැකි ලෙස කළුපැල්ලම් රැසක් මෙවර දළදා ප්‍රදර්ශනය තුළ සිදුවී ඇති බව සහ සිදුවෙමින් පවතින බව දළදා වන්දනාවට පැමිණ දින ගණන් මහනුවර පදික වේදිකාවේ අව් වැසිවලින් පීඩා විඳිමින් හෙම්බත්ව මහත් වූ ගැහැටක් විදිමින් සිය බුද්ධ වන්දනාව කර ගැනීමට සැදී පැහැදී සිටින ජනතාව පවසති.

ඉන් සමහර ප්‍රකාශයන් රටේ රූපවාහිනි, පුවත්පත් වැනි ජනමාධ්‍ය මගින් සහ සමාජ මාධ්‍ය මගින් නිරාවරණය වී අන්තර්ජාලයේ  සැරිසරමින් පවතී.

එම තොරතුරුවලින් ප්‍රකාශ වන ආකාරයට මෙතෙක් ඉතිහාසයේ කිසිම දළදා දැක්මකදී නොපැවැති දළදා ඉතිහාසයට මකා දැමීමට නොහැකි කළු පැල්ලම් රැසක් මෙම දළදා ප්‍රදර්ශනයේ දී එකතු වන බවයි . 

දළදා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි සිව් දෙනකු රෝගාතුර වීමෙන් අනතුරුව   මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසූ මිය ගොස් තිබීම සිදු නොවිය යුතුව තිබූ  ඛේදවාචකයකි. නිසි ප්‍රථමාදාර පහසුකම් සහ රෝහල් ගත කිරීමේ පහසුකම් තිබුණේ නම් මෙම අවාසනාවන්ත මරණ  වළක්වා ගත හැකිව තිබූ බව  තතු දත් බොහෝ දෙනා පවසති. එය මෙවර දළදා ඉතිහාසයට එක් වෙන අසංවිධානාත්මකභාවයේ ලොකුම කළු පැල්ලම වනු ඇත. මියගිය අයගෙන් දෙදෙනෙක් සිවිල් පුරවැසියන් වේ.   දෙදෙනෙක් රාජකාරියට පැමිණි පොලිස් නිලධාරීන් වේ.

මහනුවර මහා රෝහලේ අධ්‍යක්ෂවරිය තහවුරු කරන ආකාරයට මේ වනවිට දළදා වන්දනාවට පැමිණි පුද්ගලයන් 300 කට අධික සංඛ්‍යාවක් විවිධ රෝගී තත්ත්වයන්ට පත්ව එම රෝග උත්සන්නව

මහනුවර මහ රෝහලේ නේවාසික  ප්‍රතිකාර ගනිති, 3000 කට අධික ප්‍රමාණයක් බාහිර  රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත, 
දළදා ප්‍රදර්ශනය නැරඹීමට බැතිමතුන්ට සියලු පහසුකම් සපයන බවට ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කර, ආරාධනා කර, දැන් ඔවුනට පහසුකම් සැපයීමට නොහැකි බව කියා දළදා දැක්මට නො එන ලෙසට ආයාචනා කිරීම මින් පෙර කිසිදාක සිදුවී නැත, එනයින් එය දළදා ප්‍රදර්ශන ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමක් වනූ ඇත.

බැතිමතුන්ට දළදා ප්‍රදර්ශනයට පැමිණීමට පහසුකම් සැලසූ  පොදු ප්‍රවාහන සේවා රජය විසින් ම නියෝග කොට නවතා දමා දළදා වන්දනාවට මහජන සහභාගිත්වය  දුර්වල කිරීමට කටයුතු කළ, ඉතිහාසයේ ප්‍රථම  අවස්ථාව ලෙස මෙම දළදා ප්‍රදර්ශනය ඉතිහාසය තුළ අව පැහැයෙන් ලියවෙනු ඇත. 

දළදා ප්‍රදර්ශනයේ දී පුද්ගලයන් තුන් දෙනකුට ලැබෙන නැරඹුම් කාලය තත්පරයකට සීමා කල, ප්‍රථම අවස්ථාව ද මෙවර දළදා ප්‍රදර්ශනයයි.

බැතිමතුන්ට පහසුකම් සැලසීම ඉතා අසංවිධාත්මකව පැවතීම, දළදා  වන්දනාවට පැමිණි සැදැහැවතුන්ගේ පෝලිම්වල ගැටුම් ඇතිවීම , එම පෝලිම් කිලෝමීටර්  6-7 දක්වා දික්වීම, දළදා වැඳීමට පැමිණි  බැතිමතුන්ට දින තුනක් හතරක් පදික වේදිකාවේ අව්වැසි, රෑ දවල් නොතකා පීඩා විඳිමින් සිටීමට සිදුවීම, වැසිකිලි පහසුකම්, පානීය ජලය, කෑම බීම, නොමැතිකම ආදී මහජන පීඩාවලට ලක්වීමට සිදුවීම මහනුවර නගර සභාවට නගරයේ කැලි කසල බැහැර කිරීමට දැඩි අපහසුතා ඇතිවීම, බැතිමතුන් පදික වේදිකාව, කානු සහ පොදු ස්ථානවල මුත්‍රා කිරීමෙන්, මලපහ  කිරීමෙන්, නගරය මහත් සෞඛ්‍ය තර්ජනයකට ලක්වීම, විශාල ලෙස පුද්ගලයන් අතරමං වීම මත බැතිමතුන් දැඩි මානසික අසහනයකට පත්වීම ආදී නොවිය යුතු අමිහිරි අවලස්සන.   සිදුවීම් රැසක් මෙවර දළදා ප්‍රදර්ශනය පුරා සිදු විය ද ඒවා මහා කළු පැල්ලම් ලෙස පවිත්‍ර වූ දළදා ඉතිහාසය අපවිත්‍ර කරමින් ලියැවෙනු ඇත.

මේ සිදුවීම් ගැන මෙම ලිපියේ ලියුම්කරුවන මට අද දින මහනුවර සිට  කුණ්ඩසාලේ දෙසට දළදා වන්දනාවට පැමිණ සිය අභිප්‍රාය ඉටු කර ගැනීමට නොහැකිවූ වයස අවුරුදු විසි හයක පමණ මැණික්හින්න සමුපකාරයේ සේවය කරන  කළමනාකාරණියක් කී කතාව පාඨක ඔබේ බුද්ධිමය අවධානයට කෙටියෙන් ඉදිරිපත් කරන්නනේ එය ඔබේ හෝ ඔබේ ඥාතියාගේ හිතවතාගේ හඳුනන අයගේ කතාවද විය හැකි හෙයිනි.

"මගේ මහත්තයා හමුදාවේ. මගේ වයස අවුරුදු පහේ පුතා දාලා දළදා වඳින්න  ආසාවට පෝලිමට ආවේ. අම්පිටිය පැත්තෙන් , රෑ දවල් දෙකක් නිදි මරාගෙන අපේ කට්ටියත් එක්ක මම පෝලිමේ දුක් වින්දා. ඒ දවස් දෙක මම සමූපකාරයෙන් නිවාඩු ඉල්ලා ගත්තා. මට පෝලිමේ හිටියට වඳින්න ලැබුණේ  නෑ! හෙට මට වැඩට යන්න ඕන. ඒ නිසා ගෙදර යනවා. (ඇස්වලින් කඳුළු බේරෙයි) දවස් දෙකම හරියට දත් මැදලා නැහැ. මූණ හෝදලා නැහැ. දන්සැල් දෙන අය දීපු දෙයක් කාලා,  පේමන්ට් එකේ දුක් වින්දා. සමාවෙන්න අන්කල්. මගේ යට ඇඳුම් ගැන මට අපූලයි. දුකයි. අපි ගෑනු. පෝලිම්වල මිනිස්සු ඉටි රෙද්ද වට කරගෙන අල්ලගෙන වැසිකිලි යන්නේ. ෂොපින් මළුවලට. ඒ කරලා වැවට දානවා. පාරට දානවා. කූනූ බක්කිවලට වලට දානවා.

 මිනිස්සු අසරණයි. පෝලිමේ තැන රැකගන්න එහෙම කරනවා. ජංගම වැසිකිළියක් හොයාගෙන කිලෝමීටරයක්. දෙකක් යන්න ඕ්නෑ .එහෙම වැසිකිලි ගිහින් සෝදා ගන්න ක්‍රමයක් නැහැ. කීදෙනෙක් මේ දළදා වඳින්න යන්නේ ඇට්ටිම්බෙන්ද?(වැසිකිලි ගොස් සෝදා ගන්නේ නැතිව). මේක මහා පවක්. අපි දානේ උයලා ලුණු බලන්නේ  නැහැ.ඉඳුල් වෙනවට. පෝලිම්වල මිනිස්සු දෙස් තියෙනවා. එයාලගේ හිත් වල මෛත්‍රිය, කරුණාව, දයාව, අනුකම්පාව, වේළිලා යනවා වින්ද වදයට. අපේ නගරයේ ඉඳලා අපිට අපේ බුදුන් වඳින්න විදිහක් නෑ. මේක හෙන ගහන අපරාධයක්. දළදා වහන්සේට කරපු නිග්‍රහයක්. පින් කරගන්න ගිහින් අපිට පව් පිරෙව්වා .අපේ රටට ආශිර්වාද පතා දළදා වන්දනාව සාධු නාද දිදී කොච්චර මෛත්‍රී සිතින් කරන්න ඕන එකක්ද ? රට වටේට බොරු ප්‍රචාර ඇරල මිනිස්සු ගෙන්නූවා. මිනිස්සු අසරණ කළා. දළදා වහන්සේට මේ කරපු අවමානයට අපේ රටට ම ලොකු සාපයක් වෙයි කියලා මට බයයි . (ඇය හඬයි. )

අසරණ වූ මා ඇයට පැවසුවේ මෙපමණකි."දුව ඔයා ආවේ බුද්ධාලම්බන ප්‍රීතියෙන්, ඒක කුසලයක් .වැදගන්න බැරි වුණාට, දැක ගන්න බැරි උනාට, පසු තැවිලි වෙන්න එපා. චේතනාව පිරිසිදුයිනේ."චේතනාහන් භික්කවේ කම්මන් වදාමි". ඇගේ ප්‍රකාශයෙන් අන්ද මන්ද වූ මට කියවුනේ එපමණකි.

මේ ආදී දහසකුත් එකක් මහජන පීඩාවන්ට රටේ ජනතාව ගොදුරු  කළ දළදා ප්‍රදර්ශනයක් ලංකා ඉතිහාසයේ කවර කාලයකවත් නොපැවති බව ඉදින් නොකිය මනාද?

පවතින ඛේදවාචක තත්ත්වය කොතරම් බරපතළ ද යත්  රටේ අතිගරු ජනාධිපතිවරයාට 24 වෙනි දින රාත්‍රී මහනුවරට හදිසියේ පැමිණ බැතිමතුන් මුණ ගැසී සිය කණගාටුව ප්‍රකාශ කිරීම සහ පෝලිමිවලට ගොස් ජනතාවගෙන්  කරුණූ විමසීම තුළින්  
පැවතින තත්ත්වයේ බරපතළකම ගම්‍ය වනවා නොවේද?

අසංවිධාත්මක බව, වැරදි තක්සේරුවලට එළැඹීම, දුර්වල පරිපාලනය මෙන්ම ඉතා සාර්ථක ලෙස දළදා පෙරහැර, දළදා ප්‍රදර්ශන පැවැත්වීම සඳහා  උපදෙස් ලබා දී අත්දැකීම් ඇති මල්වතු මහානායක හිමියන්, අස්ගිරි මහානායක හිමියන් ලබා දුන් උපදෙස්  නොසලකා හරිමින් අදිසි දේශපාලන අහස්තයක් ක්‍රියාත්මක වීම නිසා මෙම මහජන පීඩාව සිදුවූ බවට තතු දත් අංශයන් පවසති.

නීතිය මත පාලනයක් ගොඩනැගීමට පොරොන්දු වූ අපගේ නව රජයේ බලධරයන් මෙම දළදා ප්‍රදර්ශනය තුළ ඇති කළ මහජන පීඩාවට එම පනත යටතේ නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදිය යුතු බවට ද අද කතිකාවතක් ගොඩනැගෙමින් පවතී. එසේම රජයේ විධායක හා පරිපාලන ක්‍රියා මත ජනතාවට ඇති මූලික අයිතියක් වූ හෘද සාක්ෂියට සහ ඇදහීමට ඇති අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය  වී ඇති බවත්, ඒ සම්බන්ධව  මානව හිමිකම් කොමිසම වහා විමර්ශනයක් කළ යුතු බවත් ප්‍රකාශ වේ. 


මෙම ලිපියේ ලියුම්කරු වන මා ශ්‍රී දළදා මාලිගාවෙන් ප්‍රකාශයට පත් කළ මුල්ම පුවත්පත වූ "දළදා සරණ" පුවත්පතේ සංස්කාරකවරයා හා මුද්‍රණ කරුවා ලෙසින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට අතිමහත් භක්තියක් ඇති පුරවැසියකු ලෙසින්, පවතින තත්ත්වය මත සංවේදී වීම නිසා ලිපියේ මාතෘකාව කරගත් ප්‍රස්තුතය ගැන ගැන මෙතෙක් කතා නොකිරීම ගැන පාඨක ඔබෙන් සමාව අයදිමින් ඊට ප්‍රවේශ වෙමි..

ඉහත තත්ත්වය මහනුවර නගරය පුරා අප්‍රේල් 18 දළදා ප්‍රදර්ශනය ආරම්භ වූ දා සිට පැවැත්වේ. වගකිය යුත්තෝ, වග විය යුත්තෝ, බලධරයෝ, පරිපාලකයෝ, නිහඩය. මහජනතාව දිනෙන් දින පීඩාවෙන් පීඩාවට පත්වෙති. ජනතාවට දළදා වන්දනාවට එන්නට කියා  ආරාධනා කර "දැන් එනවා වැඩි යයි" මැසිවිලි කියති. 

නමුත් ඒ අවස්ථාවේදී කාගෙවත් ඇණවුමක්, ඉල්ලීමක්, පෙළඹීමක් ආරාධනයක් නැතිවම අති මහත් මානව දයාවෙන් සම්ප්‍රයුක්තව මෙම මහජන පීඩාව අවම කිරීමට තමන්ට හැකි   උපරිම ලෙස දායකත්වය ලබාදීමට සාමූහික එක්සත් එක්සිත් තීන්දුවක් ගෙන කටයුතු කළ උතුම් මානව දයාවෙන් යුත් සහෝදර පිරිසක් ද මහනුවර සිටියහ. මෙම දළදා ප්‍රදර්ශනය ඉතිහාසයට එක්වන විට එම පිරිසේ නම් මතු කී කළු පැල්ලම් අතර දිදුලන ස්වර්ණමය රේඛාවක් වනු ඇත.

සිය ආගමික විශ්වාසයෙන්, පිළිගැනීමෙන්, බෞද්ධයන් නොවූ ඔවුන් සිය සහෝදර බෞද්ධ ජනතාව සිය ආගමේ මුදුන් මල්කඩ ලෙස සලකන පූජා වස්තුව වන්දනා කිරීමට එන අවස්ථාවේ දී පත්ව ඇති පීඩාව දුටු ඔවුහු එම සහෝදර ජනතාවට සහ ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට සහකම්පිතව ගරුකර ඔවුන් වෙනුවෙන් දිවා රෑ නොබලා අද දක්වාම ඇප කැපවී තම නොමසූරු සහයෝගය පිරිනමින් සිටිති.

ඔවුන් කවුරුන්ද?

ඒ මහනුවර මුස්ලිම් දේවස්ථානවල ගෞරවනීය පූජකතුමන්ලා ප්‍රමුඛ කරගත් පරිත්‍යාගශීලී මුස්ලිම් වෙළඳ ප්‍රජාව සහ ජනතාවයි. සිරි දළදා වන්දනාවට පැමිණි සිය සහෝදර බෞද්ධ ජනතාව විඳින දුක් වේදනාව පීඩාව මෙන්ම ඔවුන් තුළ ඇති ශ්‍රද්ධා භක්තිය  සහකම්පනයෙන් යුතුව මෙම ඉස්ලාම් භක්තික ප්‍රජාව වටහාගනු ලැබිණි. එනයින් සංවිධානය වූ ඔවුන් දවසේ පැය 24 ම දළදා වන්දනාවට එන  බෞද්ධ සහෝදරයන්ට සිය සියලූම දේවස්ථාන  විවෘත කර තබන්ට  තීරණය කළහ.  එමගින් දළදා  වන්දනාවේ එන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට වැසිකිළි කැසිකිලි පහසුකම් සැලසීමට, රාත්‍රිය පහන් කරන තෙක් නිදාගන්නට ඉඩ ලබාදීමට, කෑම බීම ලබාදෙන්නට ස්නානය කර  පිරිසුදු වීමට අවස්ථාව සලසා දීමට, පෞද්ගලිකත්වය සුරැකෙන ලෙස ඇඳුම් මාරු කර ගැනීමට ඉඩ ප්‍රස්තාව සලසා දීමට, ආදී ලෙස දිවයිනේ කවර පළාතකින් කවර තරාතිරමකින් ආවත් ඉතා ගෞරවයෙන් පිළිගෙන ආගන්තුක සත්කාර කිරීමට ඔවුන් මහත් කැප කිරීමක් මනා සංවිධානයකින් යුතුව කළහ. තවමත් කරමින් සිටිති.   ඒ සඳහා ඔවුහු ප්‍රචාරක දැන්වීම් පළ  නොකළහ.
තමන්ව අගය කරගනිමින් පූච්චානමි  වර්ණනා නොකීහ. 
දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් නගරය පුරා මිනිසුන්ට බුදු ගුණ ගයන දළදා සංවිධායකයන්ගේ පණිවිඩ ලබා දෙන දළදා විකාශනයෙන් ඔවුන්ගේ සේවාව ලබාගත හැකි බව වත් ප්‍රකාශ නොකෙරෙන තත්ත්වයක් තුළ පවා ඔවුන් නිහඬව නිස්සරණ අධ්‍යාසයෙන් යුතුව සිය බෞද්ධ සහෝදරයන් සඳහා තම යුතුකම් ඉටු කළහ.  තමන්ට පුළුවන් උසස්ම ලෙස එම සහෝදරාත්මක මෙහෙවර  අදටත් ඔවූන් කරමින් සිටිති.

පසුගිය වකවානුවල මුස්ලිම් මිනිසුන්, මුස්ලිම් පල්ලි, බෞද්ධයන්ගේ සතුරන් ලෙසට ආගම්වාදීන් සහ ජාතිවාදීන් ගෙන ගිය අසත්‍ය, අමූලික පට්ටපල් බොරු ප්‍රචාරවලින් ඉහ මොලය නරක් කරගෙන සිටි බෞද්ධයෝ මහනුවරදී දළදා වන්දනාවට පැමිණ  මුස්ලිම් පල්ලිවලට ගොස් දළදා වන්දනාවට සුදුසු ලෙස පිරිසිදු වී   පේවී සූදානම් වී මහත් සැනසීමෙන් යුතුව ඔවුනට පින් පෙත් ප්‍රාර්ථනා කරමින් දළදා වන්දනාවට සතුටින් නික්ම යන ලස්සන සුන්දර දර්ශනය. මෙවර දළදා ප්‍රදර්ශනයේ දී දළදා මාලිගාවට පිටතින් දකින්නට ලැබුණු චමත්කාර ම දර්ශනයක් විය. ඇතැම් විට භික්ෂූන් වහන්සේලාත්  භික්ෂූණීන් වහන්සේලාත්  එසේ තම ශරීර කෘතිය කර ගැනීමට ඒ පල්ලි වලට ගිය අවස්ථා මම දුටිමි.මව්ලවිතූමන්ලා දේවස්ථාන භාරකරුවන්  මහත් ගරුසරු ඇතිව  පැමිණෙන සැමට තම සහෝදරත්වයේ හස්තය දිගු කළහ. ඇවසි සේවාව නිදහසේ ලබාගන්නට අවස්ථාව සැලසූහ. 
ඔවුන් කිසිවකුගෙන් වත් ඒ වෙනූවෙන් ඇගයීමක්, ස්තුතියක්, ප්‍රශංසාවක්වත් අපේක්ෂා නොකළ බව බොහෝ දෙනා මට පැවසූහ. එහෙත් සිය සේවය, යුතුකම, වගකීම, ඔවුන් නොපිරිහෙලා ඉටුකරනු ලැබිණි.

මහයියාව මහ පල්ලිය, මහයියාව නක්ෂබන්දියා පල්ලිය, මහනුවර රතු පල්ලිය, මහනුවර රජවිදිය පල්ලිය, මහයියාව පල්ලිය, මහනුවර මිල්ටරි පල්ලිය, මහනුවර ලයින් පල්ලිය, මහනුවර මීරා මක්කමි පල්ලිය,  කටුගස්තොට ජුම්මා පල්ලිය ආදී මහනුවර නගර සභාව තුළ ඇති සියලු මුස්ලිම් දේවස්ථාන දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට එන සැදැහැවත් බෞද්ධ භික්‍ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසටම දන් පැන් වලින් සංග්‍රහ කර, ගිමන් නිවාගෙන, නිදාගෙන, වැසිකිළි කැසිකිලි ගොස් නා පිරිසිදු වී ඔවුන්ගේ වන්දනාව බැතිමත්වකර ගැනිමට උපකාර කළහ. ඔවුන් වෙනුවෙන් දිවා රෑ නිදිමැරූහ. වෙහෙසුනහ.  ශ්‍රමය,ධනය නිර්ලෝභීව වියදම් කළහ.

විටෙක ඒ සේවාව ලබාගත් උදවියම "ඒ උනත් ඒ අය මුස්ලිම් නේ" වැනි  ඔවුන්ගේ සේවාව සහ ආගම අවතක්සේරු කර පුරුද්දට මෙන් කියූ කතා ද නැත්තේ නොවේ. නමුත් මහත් ඉවසීමෙන් සහ සංයමයෙන් සිනාමසු මුහුණින් සිය දෙවියන් විසින් ඔවූනට පවරන ලද කාර්ය  ඔවුන් විශිෂ්ට ලෙස ඉටු කළහ. තවත් විටෙක සේවාව ලබා ගැනීමට පැමිණි උදවිය පල්ලි භූමිය අපිරිසිදු නොකළා ද නොවේ. ඒ සෑම විට ම ඔවුහු මෙත් සිතින් ඒ සියල්ල ඉවසාගෙන කටයුතු කරනු මම දුටුවෙමි.  


එසේ පැමිණි බැතිමතෙක් වරක් වැසිකිලි පෝච්ච්යට මූත්‍රා නොකර  වැසිකිළියේ බිත්තියට මුත්‍රා කරනු දැක්ක තරුණ මවුල වි වරයෙක් ඔහුගේ කාර්යය නිමවන තූරු
සිනාමුසු මුහුණෙන් බලා සිට  කිසිවක් නොකියා වැසිකිලි බිත්තිය පිරිසිදු කරන අයුරු මා බලා සිටියෙමි. අනතුරුව වැරැද්ද කළ පුද්ගලයාට එය පෙන්වා නොදුන්නේ මන්දැයි මම මවුලවිවරයාගෙන් ප්‍රශ්න කළෙමි. ඔහු සිනාසී පහත සඳහන් කතාව මට කීවේය.  

නබි නායක තුමා දවසක් එතුමාගේ සභාවරුන් (මිතුරන්) සමග ජුම්මා පල්ලියක සිටින විට යුදෙව්වෙක් (මුස්ලිම් විරෝධියෙක්) ඇවිත් පල්ලිය තුළ මල පහ කළා. සභාවරු ඔහුට විරුද්ධ වන්නට යන විට නබිනායකතුමා ඒ අය නැවැත්තුවා . ඔහුට සිය කාර්යය කරගෙන යන්නට ඉඩ  දුන්නා. පසුව නබිනායකතුමා ඒ අසූචි ඔහුගේ අතින් ඉවත් කර එතුමා ම පිරිසිදු කරන විට මලපහ කිරීමට පැමිණි යුදෙව්වා තම සළුව අමතක වී ගෙනයාමට පැමිණියා. ඔහු නබිනායකතුමා තම වසරු ගොඩ  අප්‍රියතාවයක් නැතිව පිරිසිදු කරන බව දැක්කා. ඔහු පැහැදී ඉස්ලාමය පිළිගත්තා. අපේ ආගම මනුස්සකමට අපමණ අගයක් දෙන ආගමක්. ඒ මවුලවී තුමා මට කීවේ එපමණකි

මේ සියල්ල තුළ මේ ලිපියේ ලියුම්කරු ලෙස මට මෙලෙස සිතේ. මම  උපතින් බෞද්ධයෙකි. දළදා මාළිගාව පෙනෙන මානයේ ධර්මරාජ විද්‍යාලයේ ඉගෙන ගත් නිසා නිති නිතිපතා දළදාවට වන්දනාමාන කළෙමි. පසුව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ජීවිතයට පැමිණි මා දළදා මාලිගාවෙන් ආරම්භ කළ ධර්ම ප්‍රචාරක "දළදා සරණ" පුවත්පතේ ආරම්භක සංස්කාරකවරයා හා මුද්‍රණකරුවාවිය. දැන් හැට හත්වන වියට පත්ව සිටින මම බෞද්ධ පවුල් පසුබිමක, බෞද්ධ හිත මිත්‍රාදීන් සමඟ සහ බෞද්ධ බිරිඳ දරුවා සමඟ ජීවත් වන්නෙක්මි.බුදුන් වහන්සේටත් උන්වහන්සේගේ දර්ශනයටත් අතිමහත් භක්තියක් ඇත්තෙක්මි.

ඒත් මගේ නොදන්නාකම කොතරම්ද? ඉස්ලාම් ආගම කොතරම් යහපත් මානව ප්‍රේමී ආගමක්  ද ? මොහොමඩ් නබීතුමානෝ තම ජීවිතයෙන් ප්‍රකට කළ ගුණාංග තුළ බුදුන් වහන්සේ සිය ජීවිතෙන් ප්‍රකට කළ උතුම් මානව ගතිගුණම තිබෙනවා නේද ? බුදු දහම ගවේෂණය කළා සේම ඉස්ලාම් ආගම ගවේෂණය කළහොත් එමඟින් සිංහල බෞද්ධ ජනතාවට ඉස්ලාමයේ පවතින උසස් බෞද්ධ ඇවතුම් පැවතුම්  කොතරම් ප්‍රමාණයක් හඳුනා ගන්නට ලැබෙයිද? ඒ සත්‍ය යථාර්ථය අවබෝධ කරගත් දිනක  මුස්ලිම්වරුන් අපේ සොයුරන් ලෙස පිළිගැනීමට ඇති බිය පහව යනවා නේද? 

එසේ සිතුන මා මේ ලිපිය මෙසේ සටහන් කොට  අවසන් කරන්නෙමි. මා කුඩා මිනිසෙකි. නමුත් ශ්‍රිලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්මි. මහනුවර ඉපදී හැදී වැඩී  දළදා සමිඳුන් සෙවනේ ජීවත් වන්නෙක්මි.

සමස්ත ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව වෙනුවෙන් මගේ ගෞරවය, ප්‍රණාමය මෙදා දළදා ප්‍රදර්ශනයේදී මහනුවර මුස්ලිම්වරුන් ලෙස ඔබ ප්‍රකට කළ පරමාදර්ශී හැසිරීමට ඔබ සියලු දෙනාට බොහෝ පින් සිදු වේවා! ස්තුති වේවා! 2025 ශ්‍රී දන්ත ධාතු ප්‍රදර්ශනයේදී සමස්ත මහනුවර ගඳ ගසන තත්ත්වයකට ඇද වැටුණු අවස්ථාවේ ඔබේ මිනිසුන් ගේ ආදර්ශමත් සහෝදරාත්මක කැප කිරීම් වලින් සේවය ලබාගත් සහ ඒ දෙස බලා 
සිත් පහන් කරගත් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ හදවත්.වලට  ඔබේ ගුණ සුවඳ නිතිපතා දැනෙනු ඇත. 
උත්තම ශ්‍රී දළදා වන්දනා ඉතිහාසය පුරාම 
ඔබේ ඒ මිනිසත් කමේ සුවඳ නොනැසී පවතිනු ඇත. 
ඔබ සැමට දළදා සමිඳු පිහිටයි! 
අල් හමුදුලිල්ලාහ්!

සරත් කුමාර දූල්වල
ප්‍රවීණ මාධ්‍යවේදී 
විශ්ව කලා ශ්‍රමික සංසදයේ සභාපති

Post a Comment

0 Comments