SRI LANKA


 

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ. ප්‍රශ්නයයි උත්තරයයි දෙකම ජනපතිගේ. මේ අවලස්සන කතා ශෛලියට හසුවුණා ඇති.


පසුගිය පෙබරවාරි 22 වන දින හෝ ආසන්න දිනයකදී තම ස්වාධීන මතය ස්ථිකරයක් මුද්‍රණය කර අලවා ප්‍රකාශ කිරීමේ සිද්ධියකට තිහාරිය ප්‍රදේශයේ අවුරුදු විසි දෙකක මොහොමඩ් රිස්ටි නම් තරුණයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශනය කිරීමට අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැති අත්සන ලබාගෙන අප්‍රේල් මාසය වන තෙක් රඳවා තබාගෙන, කිසිදු වරදක් ඔප්පු කර ගැනීමට නොහැකිව නිදහස් කරනු ලැබිණි.

ඔහු නිදහස් කිරීමට ප්‍රථම ඔහු අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම සිදුකළ අසාධාරණ, අනීතික, පසුබිම සහ අතිගරු ජනාධිපතිතුමා අදාළ රඳවා තබා ගැනීමට සිය අනුමැති අත්සන ලබාදීමේදී එතුමා බලයට පත්වීමට ප්‍රථම ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සඳහන් කළ ප්‍රතිපත්ති පිළිනොපැද  කටයුතු කළ ආකාරය ගැන මේ ලියුම්කරුගේ මතය "සිතිජය සඟරාවට" ලියූ "ආණ්ඩුවේ දවල් මිගෙල්, රෑ දනියෙල් ප්‍රතිපත්තිය පිටු දකිමු. නීතිය මත පාලනය ගොඩනැගීමට බල කරමු". යන ලිපියෙන් පෙන්වා දෙනු ලැබිණි.

එම ලිපිය එකී සඟරාවේ පළවූ දිනම අදාළ වින්දිත තරුණයා ද නිදහස් කරනු ලැබිණි. 

වින්දිත  තරුණයා නිදහස් කළේ අපගේ ලිපිය නිසා බව අප කිසිසේත්ම නොකියමු. නමුත් ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් ඔහුට යුක්තිය ඉල්ලා අප ඉදිරිපත් කළ කරුණු සහ මතය ඔහුව නිදහස් කිරීමෙන් ඔප්පු වූ බැවින්, අපි ගත් ස්ථාවරය නිවැරදි වීම ගැන නිහතමානීව සතුටු වෙමු.

යළිත් අද අපට එම ලිපියේ දිගුවක් ලෙසින් මෙම ලිපිය ලියන්නට සිදුවන්නේ අපේ අතිගරු ජනාධිපතිතුමා පසුගියදා මුස්ලිම් ජනයා වැඩිපුර ජීවත්වන ප්‍රදේශයක සිය පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතා කළ කතාවක් අන්තර්ජාලයේ සැරිසරනවා දැක, එයට සවන් දීමෙන් පසු එතුමාගේ දේශපාලන භාවිතය ගැන ඇති වූ විචිකිච්චාව හේතුවෙනි.

එතුමා ඉතා දක්ෂයෙකි. දක්ෂ දේශපාලන කථිකයෙකි. එතුමාගේ කථිකත්ව විලාශය ඉතාමත් ආකර්ශනීය එකකි. වරක එතුමාගේ කථික විලාසය ගැන පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු වූ ලියනගේ අමරකීර්ති මහතා මා ද සහභාගි වූ ජාතික ජන බලවේග වැඩසටහනකදී කළ සඳහනක් මට අදත් මතකය. "ඔහුටම ආවේණික වූ ආකර්ෂණීය තාර්කික ශෛලියක් අනුර කුමාර දිසානායකට තිබේ". යනුවෙන් ඔහු සඳහන් කළ බව මට මතකය.  වචන එහෙ මෙහෙ   වුණත් අමරකීර්ති ශූරීන් ජනාධිපතිවරයාගේ වාග් චාතුර්ය එවැනි අරුතකින් විස්තර කළ හැටි මට මතකය.

ඒ කථික විලාසයම ඔහුට ජනාධිපතිවරණයත්,පාර්ලිමේන්තු මැතිවරණයත් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට හේතු වූ බව ද නොරහසකි.

කුමක්ද? ඒ විලාසය?

එතුමා වේදිකාවේ සිට ජනතාව පෙළෙන හෝ ජනතාව අතර  විවාද සම්පන්න මාතෘකාවක් ගැන ජනතාව උත්තර නොදෙන හෝ ජනතාව උත්තර නොදෙන බව දන්නා ප්‍රශ්නයක් ජනතාවගෙන් අසයි. ඊට පසු එහෙම නේද ? මොකද කියන්නේ? වැනි තවත් එවැනිම ජනතාව නිහඬ කරවන ප්‍රශ්නයක් අසයි. ජනතාව නිහඩව අසා සිටින විට එතුමාම උත්තරය ප්‍රකාශ කර, යළිත් ඒ උත්තර ගැන එහෙම නේද කියා අසා තහවුරුවක් ලබා ගනී. එවිට . විටක ජනතාව නිහඩය. විටක අත්පොළසන් හෝ ඔල්වරසන් හඬ නිකුත් වේ. මෙය ආකර්ෂණීය කථිකත්ව කලාවකි.  ඒ කලාව ජනාධිපතිතුමා මැනවින් ප්‍රගුණ කර වේදිකාවේ සිට ජනතාව සිය කථිකත්වයේ අණසකට යටත් කර ගනී. අපට ඒ ගැන ඊර්ෂ්‍යාවක් නැත. ඒ නිසා අප එය දක්ෂකමක් ලෙස මුලින් ම අගය කළෙමු.

නමුත් එතුමන් බලයට ඒමට පෙර, බලය ලබා ගැනීමට කළ සටනේ දී කළ කතාව බලයට පැමිණියාට පසු තම යුතුකම වගකීම පැහැර හැරීමට හෝ තම නොහැකියාව වසා ගැනීමට කරන්නේ නම්, එය ගරු ජනාධිපති ලෙස එතුමාගේ උත්තරීතර ගෞරවනීය තනතුරට නොහොබිනා ක්‍රියාවකි.

එසේ කිරීමෙන් එතුමා සිදුකරන්නේ ජනතාවට සත්‍යය දැන ගැනීමට ඇති අයිතිය තහවුරු කරමින්, විනිවිද පෙනෙන සේ සත්‍ය ප්‍රකාශ කිරීමට එතුමාට ආවේණික එම කථික කලාව යොදා ගන්නවා වෙනුවට ජනතාව රැවටීමට එම කලාව යොදා ගැනීමයි. ඇතමෙක් මේ ක්‍රියාව ජනතාව ඇන්දවීමක් දෙස දක්වති.

ඔබෙත් මගේත් සමස්ත ශ්‍රී ලාංකීය ජාතියේත් අසහාය නායකයන් වූ ගරු ජනාධිපතිතුමා මා මතු සඳහන් කළ පරිදි ලංකාවේ කුමන හෝ දිස්ත්‍රික්කයක ඉස්ලාමීය හා සිංහල භාෂාව කතා නොකරන ජනතාවක් (එතුමාගේ කතාව දෙමළ භාෂාවට පරිවර්තනය කරන නිසා එසේ සිතමි ) අමතා  වේදිකාවක සිට  කළ කතාවක් අන්තර්ජාලයේ සැරිසරනවා දැක එය ඇසූවිට මතු කී තත්ත්වය මට නිරීක්ෂණය විය.

කුමක්ද ඒ කතාව? (මෙතැන් සිට එතුමාගේ කතාව  එතුමාගේම වචන වලින් කියවමූ)

අද ලොකු සාකච්ඡාවක් යනවා පහුගිය කාලේ තරුණයකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව...
යනවා නේද? 
මොකක්ද සිද්ධ වුණේ ?
තමුන්නාන්සේලා දන්නවා පාස්කු ප්‍රහාරයක් අපේ රටේ සිද්ධ වුණා. 

ඒ ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් ජනතාව විශාල ලෙස කොන් වුණා. ලැජ්ජා භාවයට පත් වුණා. ඒගොල්ලෝ ඒකට මුහුණ දුන්නේ ඉතාම අසීරැවෙන්.
ඒ වෙලාවේ මුස්ලිම් ජනතාව කීවේ කුමක්ද? 
මෙහෙම අන්තවාදී කණ්ඩායම් වර්ධනය වෙමින් තියනවා.ඒ පිළිබඳ ආණ්ඩුවට කීවා. පොලිසියට කීවා. ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ගත්තු නැති එකේ ප්‍රතිඵල තමා මේ භුක්ති විඳින්නේ කීවා.

ඒ නිසා අපි ආණ්ඩුවක් හැටියට තීරණයක ඉන්නවා. එවැනි සිදුවීම් යළි සිදු නොවෙන්න කටයුතු කරන්න.
ආරුගම්බේ ප්‍රහාරයක් පිළිබඳව ආරංචියක් අපට ආවා. විදෙස් ඔත්තු සේවා මගෙනුත් අපිට ඒ පිළිබඳව වාර්තා වුණා.
අපි දිවා රාත්‍රී නොබලා ආරක්ෂක මණ්ඩලය රැස්වෙලා එම ප්‍රහාරය වැළැක්වීම සඳහා ගත යුතු සියලු ක්‍රියා මාර්ග ගත්තා.
එහිදී අපි හය දෙනෙක් අත් අඩංගුවට ගත්තා. සමහර කෙනෙක් ඉන්නව ආරුගම්බේ ප්‍රදේශයට ගිහින් ඡායාරූප අරන් තිබුණා.
ඔහුගේ එකවුන්ට් එකට මුදල් වැටිලා තිබුණා. 

විදේශයෙන් අත්අඩංගුවට ගත් කෙනෙක් සමඟ සබඳතාවයක් තිබුණා. 
එතන දෙමළ කෙනෙකුත් හිටියා .මුස්ලිම් කිහිප දෙනෙකුත් හිටියා. 
හැබැයි අපි අත්අඩංගුවට ගන්නේ දෙමළ කියලද? මුස්ලිම් කියලද? 
නැහැ. අපි අත්අඩංගුවට ගන්නේ ඒ ප්‍රහාරය වැළැක්වීම අපේ ආණ්ඩුවේ වගකීමක් .

ඒක කරන්න ඕනේ නැද්ද? 

කරන්න ඕනෑ කම තියෙනවා. 

ඒ විදිහටම. 

ඒ විදිහටම මේ තරුණයාගෙත් කිසිදු සංවිධානයක් සමඟ සබඳතාවයක් තිබුණේ නැහැ.
ඒ තරුණයා ස්වයං අභිප්‍රේරණයට ලක්වෙලා තිබුණා.

ඔහු ගිහිල්ලා ලංකාවේ ප්‍රධාන සුපර් මාකට් එකක ස්ටිකර් අලවලා තිබුණා. 
අපි ඔහුව අත් අඩංගුවට ගත්තා.

අරන් ඔහුගේ මුළු දේම පරීක්ෂාවට භාජනය කළා. 
ඔහු ස්වයං අභිප්‍රේරණයට ලක්වී ඇති බව අපට තේරුණා. 
අපි එම දෙමාපියන්ට තරුණයාව පෙන්නුවා. 

දෙමාපියන් ස්තූතිවන්ත වුණා . එම විනාශයෙන් දරුවාව බේරා ගත්තු එක ගැන. 

ඒක වැරදිද? 
ඒක වැරදිද? 
ඒක කරන්න ඕනා? 

අපි පරීක්ෂණ කරලා නැවත ඒ දරුවාව නිදහස් කළා. හැබැයි ඒ දරුවා ගැන ඉරිදට වාර්තා කරන්න ඕන. මාස කිහිපයක් යනකම්.
අපි අවධානයෙන් ඉන්න ඕන. 

විශේෂයෙන් මේ සහෝදර සහෝදරියන් දන්නවා අද යූටියුබ් හරහා, සමාජ මාධ්‍ය ජාලා හරහා ලෝකයේ විවිධ අන්තවාදී සංවිධානවල ප්‍රචාරයන් තියෙනවා.

ඒ ප්‍රචාරයන්ට අපේ දරුවනුත් අහුවෙලා තියෙනවා. 
ඒ දරුවන් අපි අන්තවාදී ප්‍රචාරණයන්ගෙන් මුදවා ගන්න ඕනේ. 
ඒකට තමා ආණ්ඩු තියෙන්නේ. 
නැත්නම් මේ සිද්ධියක් වෙනකම් බලාගෙන ඉඳලා, වුණාට පස්සේ වැඩ කරන්න නෙමෙයි ආණ්ඩුවක් තියෙන්නේ.
සිදුවීම් වළක්වා ගැනීම සඳහා තමයි ආණ්ඩු හදලා තියෙන්නේ. 
ඒ නිසා කිසිසේත්ම මුස්ලිම් ජනතාව ඉලක්ක කරගත්  අත්අඩංගුවට ගැනීමක් නෙමෙයි.
අපේ රටේ සාමය ස්ථාපිත කිරීම සඳහා කළ කාර්යයක්. 

ප්‍රශ්න අසන්නේත් ජනාධිපතිවරයාමයි. උත්තර දෙන්නේත් ගරු එතුමාමයි. "නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ" න්‍යායෙන් ප්‍රශ්න අසා එතුමාම උත්තර දෙයි. එහිදී තිහාරියේ තරුණයාගේ සිද්ධියට කෙලින්ම ප්‍රවේශ නොවී, මුලින් පාස්කු ප්‍රහාරය ගැන කියයි. එහිදී එවකට ඒ සිද්ධිය ගැන ඇතැම් මුස්ලිම් ජනතාව කී දේ, එසේ කීවා නොවේදැයි ප්‍රශ්න කරයි. එවැනි තත්ත්වයක් ඇති නොවන්නට ආණ්ඩුව තීරණයක් ගෙන  තිබුණු නිසා මෙම තරුණයා අත්අඩංගුවට ගත් බව කියයි.
මේ ප්‍රකාශය සාධාරණද? නීතිය මත පාලනයක් ගොඩනගන්නට ජනතා වරමක් ලැබූ නායකයෙක් මේ මොනවද කියන්නේ? ඕනෑම කෙනෙකු කළ සුළු ක්‍රියාවක් ගැන සුදුසු විමර්ශනයක් නොකර ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන කටයුතු කිරීම සාධාරණ බවද? එවැනි තීන්දු ගත හැකි නීතියට ඉහළින් ඉන්නා අයගේ තීරණවලට ජනතාව ගරු කළ යුතු බවද? මූලික අයිතිවාසිකම් සහ මානව අයිතීන් කෙලෙසුනාට කම් නැති බවද?

පාස්කු ප්‍රහාරයට පූර්ව ගාමීව රටේ පැවැති තත්ත්වයත්, ඒ පිළිබඳව ආරක්ෂක අංශවලට වාර්තා වී  තිබූ තත්ත්වයන්, ඒ ගැන එවකට ආණ්ඩුව නොසලකා  තිබීමේ තත්ත්වයන් ගැන ජනතාව හොඳින් දනිති.

ජනතාව විසින් වත්මන් ජනාධිපතිවරයා පත් කරන ලද්දේ ද ඒවා නිවැරදි කිරීමට සහ යළි එවැනි තත්ත්වයන් ඇති නොවන 

වෙනසක් ඇති කිරීමට නොවේද? 
මේ සිදුවෙමින් පවතින්නේ එයද?

ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ අසරණ වූ පලස්තීනුවන් ගැන වේදනාවක් ඇතිවී, ඊට එරෙහිව ස්ථිකරයක් ඇල වූ සිද්ධියක් ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණයකදී පාස්කු ප්‍රහාරය වැනි එකකට  සැසඳෙන ගැළපෙන බර තැබෙන ප්‍රශ්නයක් වන්නේ කෙසේද?. ජනාධිපතිවරයා සහ ඔහුගේ නායකත්වයෙන් යුත් පොලිසිය සිය බලය වැරදි ලෙස  සහ අත්තනෝමතිකව යොදාගෙන කරගත් වැරැද්ද පිළිගෙන ඊට සමාව ඉල්ලීමක් කරනවා වෙනුවට කුඩා සිද්ධියකට අතිශයෝක්තියෙන් යුත් බරක් තබා, ජනතාව මුලා කිරීමට හෝ රැවටීමට ලක් කිරීමට එතුමා කටයුතු කරයි නම් ජාතික ආරක්ෂාව විෂයයේ ජනාධිපතිවරයාට ඇති වගකීම පිළිබඳව අවබෝධයේ හා වටහා ගැනීමේ තරම එමගින් ප්‍රදර්ශනය නොකරයිද?

එතුමා එසේ නොකර පොලිසිය හෝ අත්අඩංගුවට ගත් පාර්ශවය සීමාව ඉක්මවා ක්‍රියා කළ බවත්, එතුමාගේ අත්සන ද වැරදි නිර්දේශ මත  රැඳවුම් නියෝගයට  ලබාගත් බවත්, ජනතාවට පවසා යළි එවැන්නක් කිසි දිනක සිදු නොවෙන්නට වග බලා ගන්නා බව කීවා නම් එතුමන් කෙරෙහි ජනතාවගේ ගෞරවය, විශ්වාසනීයත්වය මහත්සේ ඉහළ යනවා සේම එතුමාට ලබා දුන් ජන වරමට ම එතුමාගේ වග වීම පිළිබඳ මහා ප්‍රතිරූපයක් ඇතිවෙනවා නොවේද?

තව ද ජනාධිපතිතුමා අත්අඩංගුවට පත්  මේ තරුණයා විෂයෙහි තමන්ට වූ වැරැද්ද වසන් කිරීම සඳහා ආරුගම්බේ
 සිද්ධිය ඉදිරිපත් කරමින් කළේ කුමක්ද? හත් පොලේ ගා ගැනීමක් නොවේද ? ආරුගම්බේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් කිසිවකුට ද චෝදනා නොමැතිව ඔවුන් රඳවා තබාගෙන නිදහස් කළ බව රටම දනී. ඒ අනුව ඇතිවන්නට තිබූ කිසිම සිද්ධියක් වළක්වා නොගත් බව ද පැහැදිලිය. එසේ යම් සිද්ධියක් වළක්වා ගත්තා නම් ඊට එම සිද්ධියට සම්බන්ධ යයි සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් චෝදනාවක් නොමැතිව නිදහස් උනා නම්, එයින් ගම්‍ය  වන්නේ කුමක්ද? අත්අඩංගුවට ගන්නේ වැරදි පුද්ගලයන් බව නොවේද ?මෙවැනි කතා පිළිබඳව අපේ රටේ මිනිස්සු උපහරණයට කියන්නේ කිතුල් ගහට නැග්ග එකාටත්, (හොරාට රා බොන්නට) කියන්න කතාවක් තිබුණා. වැනි කතා බවයි.

අන්තිමට ඉහත සඳහන් සිදුවීම් දෙක සමඟ  අතිගරු ජනාධිපතිතුමා තිහාරියේ අත්අඩංගුවට ගත් තරුණයාගේ සිද්ධිය සම්බන්ධ කරන්නේ කොහොමද?

"ඒ විදියට මේ තරුණයාගේ කිසිදු සංවිධානයක් සමඟ සබඳතාවයක් තිබුණේ නෑ. ඒ තරුණයා ස්වයං උත්ප්‍රේරණයට ලක්වෙලා තිබුණා. ඔහු ගිහිල්ලා ලංකාවේ  ප්‍රධාන සුපර්මාකට් එකක ස්ටිකරයක් අලවලා තිබුණා. අපි ඔහුව අඩංගුවට ගත්තා"
Image;TheMorningTelegraphEnglish

යම් සමාජ ප්‍රපංචයකට ජනපතිතුමා කියනා ලෙසම ස්වයං උත්ප්‍රේරණය වූ තරුණයෙක් වෙළඳ ශාලාවක ස්ටිකරයක් ඇලවීම මත අත්අඩංගුවට ගත යුතුද? එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකිද? ජාතික ආරක්ෂාව යන කාරණය මේ තරම් ප්‍රාථමිකද? ජාතික ආරක්ෂාව භාරව සිටින  එතුමාගේ බුද්ධි අංශ මේ තරම් බොළඳ වෙලාද ? ජාතික ආරක්ෂා විෂයේ එතුමාගේ රජයේ දැක්ම, වැඩපිළිවෙළ මෙතරම් ප්‍රාථමිකද ? එතුමා ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 223 වන පිටෙන් ආරම්භ කරන පරිච්ඡේදයේ උසස් ජාතික ආරක්ෂාවක්, සුරක්ෂිත රාජ්‍යයක්, යන මාතෘකාව යටතේ දක්වා ඇති මූලධර්මයන් වල සඳහන් වුණු

01. ජාතික ආරක්ෂාව පිළිබඳ වගවීම හා වගකීම.
02. ජාතික ආරක්ෂාව සඳහා රාජ්‍ය බුද්ධි  සේවා දායකත්වය.
03. විධිමත් ආරක්ෂක  පර්යේෂණ හා සංවර්ධනය.
03. පුරවැසි ආරක්ෂාව.

වැනි මූලධර්ම මෙවැනි තත්ත්වයන් යටතේ සුරැකෙනවාද? නොඑසේ නම් එකී මූලධර්ම වලට අනුව මෙවැනි ක්‍රියාකාරකම් විස්තර කරන්නේ කෙසේද? ජාතික ආරක්ෂාව පිළිබඳ වගවීම මෙවැනි විහිළු සහගත තත්ත්වයක් යටතේ කටයුතු කිරීමද?

අනෙක් අතට නොවැලැක්විය හැකි අභාග්‍යමත් හේතුවක් නිසා මෙම අත්අඩංගුවට ගැනීමේදී වරදක් වූවා යයි සිතමු. එය පිළිගෙන නිවැරදි නොකර වේදිකාවල සිට ජනතාව ගොනාට ඇන්දවීමට උත්සාහ කිරීම හරියටම "ලෙඩා මැරුණත් බඩ සුද්දයි". කී ලෙසින් වින්දිත තරුණයාට ඔහුගේ වින්දිත දෙමාපියන්ටත්, කරන මහත් වූ වගකීම් විරහිත නින්දාවක් නොවන්නේද? ඉහත සඳහන් වගවීමේ මූලධර්මය මෙයද?

අතිගරු ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට සහ  රටක් පාලනය කිරීමට තරමක් ආධුනික වුව ද, දේශපාලනයට ආධුනික නැත. එතුමා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළත්, එතුමාගේ දේශපාලන ව්‍යාපාරය සන්නද්ධ ප්‍රහාරයකින් බලය ලබා ගැනීමට  කටයුතු කළ අවධියේ ඒ තුළත්, කටයුතු  කර අත්දැකීම් බහුලව ලබා ඇති නායකයෙකි.

හැත්තෑව දශකයේ බලයට පැමිණි ජේ.ආර්. ජයවර්ධන පාලනයේ පැවැති  අත්තනෝමතික මර්ධනකාරී ක්‍රියා නිසා ජනාධිපතිතුමා කියන ලෙස වඩාත්ම ස්වයං උත්ප්‍රේරණකින් දේශපාලන බිමේ ක්‍රියාකාරී වූයේ එතුමාගේ පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණයි. එදා ඔහුගේ පක්ෂය සහ එවකට ක්‍රියාකාරී  අනෙකුත් වාම බලවේග මැඩලීම සඳහා යූ. එන්. පී. යේ ම ඇමතිවරුන් දියත් කළ කළු ජූලිය, "නැක්සලයිට්" කුමන්ත්‍රණය  කියන  දේශපාලන ලෝකයට අලුත් වචනයක් එකතු කර හඳුන්වා දෙමින් තහනම් පක්ෂ බවට පත්  කරන ලදී. එහි  අනිටූ ප්‍රතිවිපාකය  උනේ කුමක්ද? එවකට ප්‍රජාතන්ත්‍ර තලයේ දේශපාලනයේ නියැලී සිටි ජවිපේ යළිත් කැලෑ වැදී අසූ නවයේ කැරැල්ලට හේතු වන තත්ත්වයට ඇද වැටීමයි.  එදා ජේ.ආර්. ජයවර්ධන විසින් ගොබෙල්ස් පන්නයේ ටොම්පචයක්.  ඇදබා  ස්වයංව උත්පේරණය වූ තරුණ අසහනය මැඩ පැවැත්වීමට යෙදූ උපාය ඔහුටම පාරාවලල්ලක් වු ආකාරය වත්මන් ජනපතිතුමා හොඳින් දනී.

ඒ නිසා අපි වත්මන් ජනාධිපතිවරයාට ඉතා ආදරයෙන් ගෞරවයෙන් මතක් කරන්නේ එවැනි "උගත් පාඩම්" ඔබට තිබෙන බැවින් තරුණයන් විෂයේ මෙන්ම ඉතා සංවේදී කාරණා වන ජාතිකත්ව, ආගමික ආදී ගැටලුවලදී මීට වඩා සංවර තලතුනා බවින් යුතුව ක්‍රියා කිරීම කළ යුතු බවයි.

දැන් එතුමා පක්ෂයක නායකයා පමණක් මල්නොව, රටේ ද නායකයායි. එනිසා පක්ෂයේ දිනවීම සේම රට දිනවීම, සුරැකීම, නැංවීම, රටේ ජනයා ආරක්ෂා කිරීම, ඔවුන්ගේ මූලික අයිතීන් සුරැකීම, ආරක්ෂා කිරීම, සංවර්ධනය කිරීම, එතුමාගේ පරම  වගකීම වූ උත්තරීතර තනතුරක් එතුමා හොබවන බැවින් ඊට උචිත ලෙස කටයුතු කිරීම සුදුසු බවයි.

ඒ සඳහා එතුමාගේ නායකත්වයෙන් සම්පාදිත ඉතා ගැඹුරු සාරවත් ප්‍රතිපත්තියක් ඇති මනරම් වැඩපිළිවෙලක් සහිත එතුමාගේ මැතිවරණ ප්‍රකාශය දැන් ජනතාව අනුමත කර තිබේ. එය ක්‍රියාවට නැගීමට එතුමන්ට බලය දී තිබේ. 

එම ලියවිල්ල කොතරම් සාරගර්භ වුවත්, එහි මූලධර්ම එතුමන්ලා ම  උල්ලංඝනය කරනවා නම්, රටේ මිනිසුන්ට කියන්නට වන්නේ "වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව" කියා විකල්පයන් සෙවීම බව කාරුණිකව සිහිපත් කරමි.

තවද  ජාතික ආගමික හා සංස්කෘතික වශයෙන් සංවේදී කාරණා ගැන තීන්දු ගැනීමේදී සහ ප්‍රකාශ කිරීමේදී එතුමාට සහාය විය හැකි ඉතා කෘතහස්ත පිරිසක් එතුමාගේ කණ්ඩායමේ සිටී. විශේෂයෙන් රට තුලත් රටින් බැහැර මූස්ලිම් ඩයස්‌ පෝරාවේත් සහාය එතුමාට ලබාදීම සඳහා වෙහෙස වී කටයුතු කළ ජාතික සාම වැඩපිළිවෙළවල් පිළිබඳව මනා අත්දැකීම් ඇති අපේ හිත මිත්‍ර මුනීර් මුලප්පන් මවුලවිතුමා වැනි අත්දැකීම් බහුල පුද්ගලයන් එතුමාගේ ඇමති මණ්ඩලයේ සිටී. ඉදින් එතුමන් වැනි අයගෙ සහාය උපදෙස් සහ මග පෙන්වීම 

ලබා ගනිමින් කටයුතු කිරීමෙන් එතුමන්ගේ දර්ශනය වූ "පොහොසත් රටක ලස්සන ජීවිතයක්" ශ්‍රි ලාංකීය ප්‍රජාවට උරුම කරදීමට එතුමන්ට හැකි වනු ඇතැයි අප විශ්වාස කරමු. අප ඒ සඳහා එතුමන්ට සුබ පතමු.

ප්‍රවීණ මාධ්‍යවේදී 
සරත් කුමාර දූල්වල 
විශ්ව කලා ශ්‍රමික සංසදයේ සභාපති

Post a Comment

0 Comments