
සම්බුදූ තෙමගුල ලෙසින් ලෝකවාසී බෞද්ධයන් ආගමික වශයෙන් හා සංස්කෘතික වශයෙන් වෙසක් මස පුර පසළොස්වක පෝය දා සමරනු ලබති
වෙසක් පොහොය ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අති උතුම් ආගමික දිනය වශයෙන්ද ඔවූන් සලකති. සම්මා සම්බුද්ධත්වයට පත් සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තියත්, සිද්ධාර්ථ තාපසයාණන්ගේ සම්බුද්ධ ප්රාප්තියත් උන්වහන්සේගේ පරිනිර්වාණයත් වෙසක් පුන් පොහෝ දිනකම සිදුවීම නිමිති කරගෙන ඔහුන් වෙසක් උත්සවය සමරති
බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව යමින් සියලු සත්ත්වයන් කෙරෙහි කරුණාව මෛත්‍රිය, දයාව, පැතිරවීම අසරණයන්ට පිහිටවීම, කෘතවේදී වීම, සහ කම්පනය වීම තමන්ගේත්, අනෙකාගේත්, යහපත උදෙසා කටයුතු කිරීම, අගතිගාමී සිතුවිලි හා ක්‍රියාවන්ගෙන් වැළකීම, වැනි උතුම් මානව ගුණාංග රැසකින් සමන්විත බෞද්ධ ඉගැන්වීම් ප්‍රායෝගික ජීවිතයේ භාවිතාව සඳහා පුහුණුවීම හා කැපවීම වෙසක් පොහෝ දිනය සැමරීමේ ප්රමුඛ අරමුණ වේ.
මිනිසාගේ ප්‍රායෝගික ජීවිතයට බුදු දහමේ ඉගැන්වීම් හා හර පද්ධතීන් බද්ධ කර ගනිමින් එහි ආධ්‍යාත්මික හා දාර්ශනික පැතිකඩ පිළිබඳ අවබෝධයෙන් යුතුව ආමිස සහ ප්‍රතිපත්ති පූජා වන්ගේ යෙදීම වෙසක් දිනය හා බැඳුණු විශේෂ සම්ප්රදායක් වේ.
ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ ලංකාවට පැමිණි චීන ජාතික පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවලින් හෙළිවන පරිදි ලාංකික ජනයා වෙසක් උත්සවය සියවස් ගණනාවක් සිදු කරනු ලබන විචිත්‍රවත් වූ පෙරහැර සහිත සංස්කෘතික හා ආගමික මංගල්‍යයකි.
එනයින් සම්බුදු තෙමඟුල සිදුවූ වෙසක් දිනය ලෝකය පුරා විසිර සිටින විවිධ සම්ප්‍රදායයන්ට අයත් බෞද්ධ ජනතාව විසින් මහත් භක්තියෙන් හා උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබති.
ක්‍රිස්තු පූර්ව 623 වෙසක් පොහොය දින වර්තමාන නේපාලයේ දකුණු මායිමට ආසන්නව පිහිටි කපිලවස්තු නුවර පාලනය කළ සුද්ධෝදන රජතුමාගේ හා මහාමායා දේවියගේ පුතණුවන් ලෙස සිද්ධාර්ථ කුමාරයාගේ උපත සිදුවූ බව බෞද්ධයාගේ පිළිගැනීමයි. සිද්ධාර්ථ කුමරුගේ උපත පිළිබඳ අනාවැකි කරුවන් විසින් අනාවැකි දෙකක් ප්‍රකාශ කර තිබිණි. එනම් කුමරු ගිහිගෙයි නවතා ගැනීමට සමත් වුවහොත් රාජ්‍ය පාලකයකු විසින් දැරිය හැකි අති ප්‍රබලම තනතුරවන චක්‍රවර්ති රජු හෙවත් සක්විති රජකු වන බවත් ගිහි ගෙයින් නික්ම පැවිදි ජීවිතයට එළඹිය හොත් සම්මා සම්බුදුවරයකු වන බවත්ය.

එහිදී ලෞකික අපේක්ෂා සහිත දෙමව්පියන්ගේ කැමැත්ත වූයේ සිදුහත් පුතණුවන් බලගතු සක්විති රජ පදවියට පත් වෙනූ දැකීම බැවින් ඔවුහු ඒ සඳහා නිසි වටපිටාව සකස් කිරීමට වගබලා ගත්හ. ඒ අනුව සිදුහත් කුමරුගේ වාසය සඳහා සෘතුවලට ගැලපෙන සුවපහසු කමින් යූත් රම්‍ය සුරම්‍ය සහ සුභ නමින් ප්‍රසාද තුනක් සාදා දීමත් ජීවිතයට ඇළුම් කරන්නාවූ සියලු සැප සම්පත්වලින් ආඪ්‍ය කිරීමත් සිදුවුනි.
නමුත් සතර පෙරනිමිති ලෙස සඳහන් මෙලොව උපත ලැබූ පුද්ගලයකුට ගැලවීය නොහැකි ඉපදීම මහලු වීම,ලෙඩවීම, මරණය, යන අවස්ථා හතර තුල පවතින දුක්ඛදායක බව සහ ගිහි ගෙන් නික්ම ගතකරන පැවිදි ජිවිතයක ශාන්ත බව පිළිබඳව ගැඹුරින් අවබෝධ කරගත් සිදුහත් කුමාරයාට පැවිදි දිවියට ඇතුළත් වීම සඳහා ඉමහත් කැමැත්තක් පහළ විණි.
එම කැමැත්ත මුදුන්පත් කරගනිමින් ගිහි ජිවිතයේ සියලු සම්පත් අතහැරිය සිදුහත් කුමාරයා ක්‍රිස්තු පූර්ව 594 ඇසළ පොහෝ දින තම බිරිඳ වූ යසෝධරා දේවිය හා පුතු රාහුල කුමරුට සමුදී තවුස් දිවියට එළැඹිණි.
ජීවිතයේ යථාර්ථය හැඳිනගෙන එමඟින් දුකින් ගැලවීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමේ මාර්ගය සොයා ගැනීම සඳහා එකල සිටි උසස් ඥාන ගවේෂණයේ යෙදුණු ආචාර්යවරුන්ගේ සෙවනේ සිදුහත් තවුසාණන් තවුස්දම් පිරීමේ නිරත විය.
බොහෝ කලක් ඔවුන්ගේ අනුගාමිත්වයෙන් සත්‍ය වටහා ගැනීමට ඔවුන්ගේ ධර්මතා පුරුදු පුහුණු කළ ද එමගින් ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත නොහැකි බව උන්වහන්සේ පසක් කරගත්හ.
ශරීරයට දැඩි දුක් දෙමින් අත්තකිලමථානුයෝගීව දිවි සැරියේ යෙදීමෙන් හෝ අධික සැප සහිත කාමසුඛල්ලිකානුයෝගී; දිවිසැරියක ගමන් කිරීමෙන් හෝ ජීවිතය පිළිබඳ යථාර්ථය වටහා ගැනීමට නොහැකිබව අවබෝධ කරගත් සිදුහත් තවුසාණෝ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් තමන්ගේ අභිප්‍රාය මුදුන් පත් කරගත හැකි බව පසක් කළහ.
දැඩි වීර්යය හා අධිෂ්ඨානය මෙහෙයවීමෙන් ඥාන මාර්ගයේ සිත පුහුනූකල සිදුහත් තවුසාණෝ ක්‍රිස්තු පූර්ව 588 වෙසක් මස පූර පසලොස්වක දින උරුවෙල් ජනපදයේ ගයානම් ස්ථානයක දී සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළහ.
බුදුන් වහන්සේ තමන් වහන්සේ අත්පත් කරගත් බුද්ධත්වයේ ස්වභාවය පැහැදිලි කරන උදාන වාක්‍ය සහ ඒයින් අර්ථ ගැන්වෙන අදහස මෙහි සඳහන් කරනු කැමැත්තෙමි.

එනම් සංසාරයේ නැවත නැවත ඉපදීම දුකකි. ඉපදීම නමැති ගේ සදන්නා වූ තණ්හාව නමැති වඩුවා මා විසින් දක්නා ලදී. වඩුවාණනි. නුඹට යළි එම ගෙය ගොඩනැගීමට ඉඩ නොදෙමි. කෙලෙස් නැමති පරාළ බිඳ දැමුවෙමි. මෝහය නැමැති කැණිමඩල ගලවා දැමීමි. සිත නිදහස් විනි තණ්හාව නිමා විනි යළි ඉපදීමක් සිදු නො වේ. යනුවෙනි.
මෙම ප්‍රකාශයෙන් ජීවිතය පිළිබඳ යථාව බෝධය ලබාගැනීම සඳහා වන මාවත පෙන්වා දෙයි. ඒ තණ්හාව වෛරය හා මෝහ යන යන සිතිවිලි වලින් මුසපත්ව සිටින පෘථග්ජන මිනිසාට මෙම ගැඹුරු ධර්මය අවබෝධ කරගැනීමේ අසීරුතාවය පසක් කළ බුදුන් වහන්සේ ලෝකවාසීන්ට දහම් දෙසීම පිළිබඳ උකටලී විය.
ඉන්පසු තවූස් දිවිය ගත කරද්දී තමන්ට මඟපෙන්වූ ගුරුවරුන් හට ධර්මය දේශනා කිරීමට තීරණය කළ නමුදු ඔවුන්ද ඒ වන විට මිය පරලොව ගොස් සිටි බැවින් දිගු කාලයක් තමන් ඇසුරු කල සගයන් වූ පස්වග මහණුන්ට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූයේය. ඔවුන් ක්රමයන් ධර්මය අවබෝධ කරගත් පසු බුදුන්වහන්සේගේ ප්‍රතම අනුගාමිකයන්වූ ප්‍රථම ශ්‍රමණ පිරිස බවට පත් වූහ.
පුරා වසර45ක් උතුරු ඉන්දියාවේ ඊසාන දිග ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන ධර්ම චාරිකාවේ නිරත වූ බුදුරජාණන් වහන්සේ මල්ල ජනපදයයේ කුසිනාරා නුවර "උපවන් තන" නම් සල් උයනේදී පිරිනිවන් පෑහ. ඓතිහාසික වශයෙන් මෙම සිදුවීම ක්‍රිස්තු පූර්ව 543 වෙසක් පුර පසළොස්වක පොහොය දින සිදු වූ බවත් සටහන් වී තිබේ
මිනිස් ජීවිතයේ සැබෑ යථාර්ථය තෙමගුල ලෙස සිහිකරන මේ උතුම් දිනයේ ශ්‍රි ලාංකික ජනතාවට ජාති ආගම් කුලමල භේද සියල්ල පසෙකලා ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නගා ගනිමින් යථාර්ථවාදී බෞද්ධයන් වීමට ඉමහත් අධිෂ්ඨානයක් ඇතිකර ගත හැකි මා හැඟි දිනයක් ලෙස ද හඳුන්වා දීමට පුළුවන
සරත් කුමාර දුල්වල
සබාපති
විශ්වකලා ශ්‍රමික සංසදය
0 Comments