
පොසොන් උත්සවය ශ්‍රී ලංකාවට ආගමික වශයෙන් ද ජාතික වශයෙන් ද වැදගත් දිනයකි. ශ්‍රී ලංකාවේ ඉපැරණි රාජධානියක් වූ අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන පොසොන් පුර පසළොස්වක පෝයදා පොසොන් උත්සවය ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව චිරාගතව සමරනු ලබති.
මහින්දාගමනයට පෙර සිටම පොසොන් මහා පසළොස්වක දින හා තදාසන්න කාලය රජරට සැණකෙළි වකවානුවක් විය.මහින්දාගමනයට පෙර මෙම දිනය හඳුන්වනු ලැබුවේ ජෙට්ඨමූල නක්කත්ත දිනය හෙවත් දෙටුමුල් නැකත පැවැත්වූ දිනය වශයෙනි.
ඒ අනුව එකල සම්ප්‍රදායට අනුව මුටසිව රජතුමාගේ දෙවැනි පුත්‍රයා වූ තිස්ස රජතුමා අනුරාධපුරයේ රාජ්‍යත්වයට පත්ව රජකම් කළ අතර මතු කී
නැකත් උස්සව චාරිත්‍ර සැමරීමක් වශයෙන් හතළිස් දාහක පමණ පිරිසක් සමග මුව දඩයමේ යෙදී සිටි බව දීපවශ සහ මහාවංශ මූලාශ්‍රයන්ගෙන් හෙළිදරව් වේ.
ක්‍රිස්තූ පූර්ව 207-247 අතර වසර හතළිහක පමණ කාලයක තිස්ස රජුගේ පාලන සමය මෙරට ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ ඓතිහාසික වශයෙන් බෙහෙවින් වැදගත් සන්ධිස්ථානයක් බව ඉතිහාසඥයෝ ප්‍රකාශ කරති.
මහාවංශයට අනුව මුටසිව රජතුමාට සිටි පුත්‍රයන් අතරින් අනෙක් කුමාරවරුන්ට වඩා බුද්ධිමත් හා යහපත් හැසිරීම් ඇවතුම් පැවතුම් පැවැති කුමාරයෙකි.එතුමන් රාජ්‍යත්වයට පත්වීමෙන් පසුව සමකාලීන විදේශ රාජ්‍යයන් සමඟ බොහෝ අගනා මිත්‍ර සබඳතා තිබූ බවත්, ඉනුත් දඹදිව මෞර්ය වංශයට අයත් සමකාලීන පාලකයා වූ අශෝක අධිරාජයා සමග ඉතා කිට්ටු සබඳතා පැවැත්වූ බවත්,
ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළිවේ.

ධර්මාශෝක අධිරාජයා සමඟ තිස්ස රජතුමාට අන්‍යෝන්‍ය වශයෙන් ම තුටු පඬුරු හුවමාරු කරගන්නා සමීපස්ථ සබඳතා පැවති අතර මහින්දාගමනයට පෙර තිස්ස රජතුමාගේ මහ ඇමැතිවරයකු වූ අරිට්ඨ අශෝක අධිරාජයා වෙත යවා තිබූ බවත්, ඔහු මගින්
අශෝක අධිරාජයා ධර්මාශෝක නමින් තෙරුවන් සරණ ගිය බෞද්ධ උපාසකයෙක්ව සිටින බව දැනගන්නට ඇතැයි නිසැකවම අනුමාන කළ හැකිය.
සමකාලීනයන්; දඹදිව පැවැති තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පසුව ධර්මාශෝක රජතුමා මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ගේ මග පෙන්වීම යටතේ සිය ධර්ම ප්‍රචාරක යාන්ත්‍රණයදියත් කළ අවස්ථාවේ ලංකාවේ තිස්ස රජතුමා විශේෂ කොට ධර්මාශෝක රජතුමාගේ පුතණුවන් වන මිහිඳු හිමියන් සමඟ තවත් රාජකීයයන් ද ඇතුළත්වු ධර්මදූත කණ්ඩායමක් ලක්දිවට එවූ බව
ඓතිහාසික මූලාශ්‍ර වලට අනුව පැහැදිලිය.
එලෙස ලංකාවට බුදු දහම මුලින්ම හදුන්වා දූන්නේ ක්‍රිස්තු පූර්ව 236 වසරේදී පොසොන් පුර පසළොස්වක පොහොය දිනයකයි. ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන දඹදිව සිට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලාංකික බෞද්ධයන් හඳුන්වන්නේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වශයෙනි. උන්වහන්සේට එම ගෞරවය ලබාදීම මගින් ශ්‍රි ලාංකිකයා මිහිඳු මහරහතන් වහන්සේ බුදු රජාණන් වහන්සේට පමණක් දෙවැනි කොට සලකන බව පෙන්නුම් කෙරෙයි. මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලංකාවට හඳුන්වා දුන් බුදු දහම ආගමික දර්ශනයක් පමණක් නොව ජනහිතකාමී, පරිසර හිතකාමී, සහජීවනයට මග හෙළිකරන සමාජ ආර්ථික පුනරුදයකට මගපෙන්වන මාහැඟි දර්ශනයකි.
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමෙන් පසු ශ්‍රී ලංකා සමාජයේ නව පුනරුදයක් ඇති විය. භාෂාව, සාහිත්‍යය, කලා ශිල්ප, සිරිත් විරිත් ආදි ජන ජීවිතයේ සෑම අංශයකම නව පිබිදීමක් ඇතිවිය. බෞද්ධ දර්ශනය මගින් අපට උරුම වූ ආධ්‍යාත්මික ශික්ෂණය සංවර්ධනාත්මක පිබිදීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට අනන්‍ය වූ සංස්කෘතියක් බිහි කිරීමට හේතුවිය.
ක්‍රිස්තු පූර්ව 236 දී එවකට දඹදිව රාජ්‍ය පාලකයා වූ අශෝක අධිරාජයාගේ ධර්ම ප්‍රචාරක වැඩසටහන යටතේ එතුමාගේ පුතණුවන් වූ මිහිඳු මහරහතන් වහන්සේ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන මහරහතන් වහන්සේලා සමඟ අභිඤ්ඤාලාභී සුමන සාමණේරයන් සහ භණ්ඩුක උපාසකතුමා ඇතුලත් සත්දෙනකුගේ දූත මණ්ඩලයක් ලංකාවට බෞද්ධ දර්ශනය රැගෙන ආ බව මහා වංසයේ පැහැදිලිව සටහන් වී තිබේ.
එකල ශ්‍රී ලංකාවේ පාලකයා වූ තිස්ස හෙවත් දෙවන පෑතිස් රජු මිස්සක පර්වත ප්‍රදේශයේ මුව දඩයම ඇතුළු විනෝද ක්‍රීඩාවේ යෙදී සිටි අවස්ථාවේ මිහිඳු මාහිමියන් ඇතුළු පිරිස මුණ ගැසිණි. එහිදී රජතුමාහට 'තිස්ස තිස්ස" කියා අමතනු ඇසුණි. එසේ තමන්හට නම කියා අමතන්නේ කවුරුන්දැයි විමසූ විට මිහිඳු මාහිමියන්, "මහ රජතුමනි, අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස ධර්මය දේශනා කිරීමට දඹදිව සිට මෙහි පැමිණියෙමු". කියා වදාළ සේක.

මෙම හමුවේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය රජතුමාට හා මෙරට පුරවැසියන්ට වටහා ගැනීමට හැකිදැයි පරීක්ෂාකිරීමට මිහිඳු මාහිමියන් පරිසරය හා ඥාතීන් ඇසුරෙන් විමසූ ප්‍රශ්න ඉතා අලංකාරව වංශ කතාවේ සඳහන්ව ඇත. එය ලංකා ඉතිහාසයේ වාර්තා වන පළමුවැනි බුද්ධි පරීක්ෂණය බව සඳහන් කළ හැකිය.
මිහිඳු මාහිමි ගසක් පෙන්වමින් මෙසේ ඇසීය.
රජතුමනි මේ ගසේ නම කුමක්ද?
"ස්වාමීනී, මෙය අඹ ගසකි". රජතුමා පිළිතුරු දුන්නේය.
"රජතුමනි, මේ හැර තවත් අඹ ගස් තිබේද?" මිහිඳු මාහිමි විමසයි.
"එසේය ස්වාමීනි, තවත් බොහෝ අඹ ගස් තිබේ". රජතුමා පිළිතුරු දෙයි.
"රජතුමනි, මේ අඹ ගසත් ඒ අඹ ගසූත් හැර තවත් ගස් තිබේද ? " මිහිඳු මාහිමි විමසයි.
"එසේය ස්වාමීනි, බොහෝ ගස් ඇත. එහෙත් ඒවා අඹ නොවේ". රජතුමා පිළිතුරු දෙයි.
මහරජ, ඒ අඹ ගස් අඹ නොවන ගසූත් හැර තවත් ගස් තිබේද ? " මිහිඳු මාහිමි විමසයි.
"එසේය ස්වාමීනි, ඒ මේ අඹ ගසයි." රජතුමා පිළිතුරු දෙයි.
ඊළඟට මිහිඳු හිමියන් රජතුමාගෙන් නෑදෑයන් ඇසුරෙන් පහත ප්‍රශ්න විමසූ බව වංශ කතාවේ සඳහන් වේ.
"මහරජ, තොපට නෑදෑයෝ සිටීද?"
"එසේය ස්වාමීනි, බොහෝ නෑදෑයෝ සිටිති".
"රජතුමනි, ඔබට නොනෑයෝ සිටීද?"
"එසේ ස්වාමීනි, නොනෑයෝත් සිටිති".
"රජතුමනි, නෑයොත් නොනෑයෝත් හැර තවත් අය සිටීද?"
"සිටිති ස්වාමීනි. ඒ මම වෙමි". රජතුමා පිළිතුරු දුන්නේය.

ඒ අනුව රජතුමාගේත් පූරවැසියන්ගෙත් සිහිනුවණ ගැන තක්සේරුවකට පැමිණි මිහිඳු මහරහතන් වහන්සේ "චූල්ල හස්ථි පදෝපම" සූත්‍රයෙන් පිරිසට ධර්ම දේශනා කළ බව සඳහන්ය. ඒ අනුව ශ්‍රි ලංකාවේ ප්‍රථම බෞද්ධ උපාසක පිරිස පොසොන් පුන් පෝය දා බිහි විය.
මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාගෙන් එසේ විමසූ ප්‍රශ්න සහ රජතුමා ලබා දුන් උත්තර අනුව එදා ඉපැරණි ශ්‍රී ලංකාවේ රජවරුන් පවා බහුවිවිධත්වය හැඳින ගෙන ඊට ගරු කළ බව මනාව පසක් වේ. විශේෂයෙන් නෑයන් වගේම නොනෑයන් ද සිටින බවත්, ඔවුන් සියල්ලගේම පාලකයා, පියා, රැකවලා , රජතුමා බවත් දේවානම්පියතිස්ස රජතුමා වටහා ගෙන සිටි බව ප්‍රත්‍යක්ෂ වේ. මෙම බහු විවිධත්ව පිළිගැනීම එහි පැවැත්මට එවකට ලංකා රජය ගරු කිරීම සංඝමිත්තා මහ රහත් තෙරණිය සමග 18 කුලයක ශිල්පීන් එදා දඹදිව සිට ලංකාවට ගෙන්වා ගැනීමට පරිසරය නිර්මාණය කිරීමට උත්තේජනයක් වූ බව නිසැකය.
ඔවුන් එදා දඹදිව සිට ආවට පසු අපේ රටේ පුරවැසියන් ලෙස මේ රටේ ජීවත් වී ලංකාදීපයට සේවය කර මේ රටේ දරුමල්ලන් ලැබ පරම්පරාවක් බිහි කර මෙරට ම මිහිදන් වන්නට ඇති බව විශේෂයෙන් කියන්නට අවශ්‍ය නැත.
එනිසා අතීතයේ සිටම බෞද්ධ ආභාෂය සමඟ සාමය සහජීවනය ගරු කරන ස්වදේශිකයන් සමඟ විදේශිකයන් මෙරට සාමයෙන්, සතුටින්, සමාදානයෙන් ජීවත් වූ බව පැහැදිලිය. සැබෑ ඉතිහාසය වන්නේ එය බැවින් මෙම පොසොන් පොහොය අනාදිමත් කාලයක සිට අපේ රටේ ජනතාව තුළ තිබූ එම උත්තම ගුණාංග සිහිකරගෙන මිත්‍යා දෘෂ්ටිකයන් දේශනා කරන හෝ ප්‍රචාරය කරන විකෘති කරන ලද ජාති, ආගම්, භේද වාදී අදහස් මුලිනුපුටා දමා සම්‍යක් දෘෂ්ටිය ඇති කරගන්නා පුන් පොහෝ දිනයක් කරගනිමු! ශ්‍රී ලාංකිකයන් ලෙස සැවොම එක්වී පොසොන් සමරමූ.
සභාපති
සරත් කුමාර දූල්වල
විශ්ව කලා ශ්‍රමික සංසදය
0 Comments