SRI LANKA


 

ඊද්-උල්-ෆිතර්: ලෝකය පුරා සමරන ආත්මීය ජයග්‍රහණයේ උත්සවය


"ඊද් උල් ෆිතර්"(රාමසාන්) මහෝත්සවය 
ආත්මීය ජයග්‍රහණ සමරන උතුම් ආගමික සංස්කෘතික මංගල්‍යයකි.

ශ්‍රේෂ්ඨ උතුම්  රාමසාන් මාසය ඉස්ලාම් ජනතාවට ආධ්‍යාත්මික පුහුණුව, ආත්ම පාලනය සහ අල්ලාහ් දෙවිඳුන් සමඟ සම්බන්ධය ශක්තිමත් කරගැනීම උදෙසා උන්වහන්සේගේ ආශිර්වාදයෙන්  ලබාදුන් අතිශය වටිනා මහාර්ඝ සමයකි.  

එනයින් හිජරි වර්ෂ1447 රාමසාන් මාසය අවසන් වීමත් සමඟ පැවැත්වෙන ඊද්-උල්-ෆිතර් උත්සවය යනු සරලව උපවාසය අවසන් කිරීමක් පමණක් නොව, රාමසාන්. මාසය පුරා ඉටු කළ ඉබාදත් (බැතිමත් පුණ්‍ය ) ක්‍රියාවන්හි ආත්මීය ජයග්‍රහණයන් සැමරීමකි. එය අභ්‍යන්තර පිරිසිදුකම, සමාජ එකමුතුව සහ මානවීය වගකීම් පිළිබඳ ගැඹුරු පණිවිඩයක් සමග මාහැඟි ආදර්ශයක් රැගෙන එන උතුම් ආගමික සංස්කෘතික මහෝත්සවයකි.

“ෆිතර්” යන වචනයෙන් අදහස් වන්නේ “විවෘත කිරීම” හෝ “උපවාසය බිඳ දැමීම” යන්නයි. නමුත් ඊද්-උල්-ෆිතර් යනු සුපුරුදු ලෙස නැවත කෑම-බීම ගැනීම ආරම්භ කිරීමක් පමණක් නොව ,(සබ්ර්) කරුණාව, සත්‍යවාදීකම , දානය, සමාජීය සහකම්පනය සහ අල්ලාහ්  කෙරෙහි ශ්‍රද්ධාව වර්ධනය කරගත් උතුම් ආදර්ශවත් ජීවිතයක ප්‍රතිඵලයයි. එනයින් මෙම මහෝත්සවය "ඉස්ලාම් භක්තිකයන්ට අලුත් ආරම්භයක්” "නව ජීවනයක්", "නවෝදයක්,"උදාකර දෙන්නෙකි. 

ඊද් දිනයේ ප්‍රධාන අංගයක් වන්නේ උදෑසනම  අල්-ඊද් (ඊද් නමස්කාරය) සලාතය ඉටු කිරීමයි. ඉස්ලාම් භක්තිකයන්  නව හෝ පිරිසිදු ඇඳුම් ඇඳ, පල්ලියට හෝ විවෘත භූමියකට එකතු වී එකමුතුව අල් ඊද් (නමස්කාරය) සලාතය සාමූහිකව ඉමහත් වූ භක්ති ප්‍රණාමයෙන්  සැදී පැහැදී ඉටු කරති. 

එමගින් ඉස්ලාම් භක්තිකයන් සමාජයේ සමානාත්මතාවය, සහෝදරත්වය සහ එකමුතු බව. එක්සත්  බව  ප්‍රකාශ කරන ගාම්භීර වැදගත් සැමරීමක් ඉටු කරති. සියලු ජාතීන්ට අයත් පොහොසත් සහ දුප්පත්, වයසින් කුඩා සහ වැඩිහිටියන් , සියලු දෙනා එකම භූමියක එකම පේළියක සිට එකම දිශාවකට හැරී එකම මොහොතකදී එක වර එකම චේතනාවකට සපැමිණ මහත් වූ දේවගරු බිය භක්තියෙන් යුතුව  අල්ලාහ් දෙවිඳුන්ට නමස්කාර කිරීම තුළින් උන්වහන්සේ ඉදිරියේ සකල සියලු මනුෂ්‍ය සංහතියේ සමානාත්මතාවය අසිරිමත්ව විදහා දක්වා ආදර්ශමත්ව පෙන්නුම් කර සිටිති.

ඊද් උත්සවයට පෙර අනිවාර්ය වශයෙන් සිදු කළ යුතු කරුණක් වන්නේ සකාත් අල්-ෆිතර් දානයයි. මෙය දුප්පත් සහ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට ලබා දෙන දානයක් වන අතර, ඔවුන්ටද ඊද් සතුටට එක්වීමට එමගින් අවස්ථාව සලසයි. මෙයින් සමාජ සාධාරණය, කරුණාව,දයාව, සහ කම්පනය  යන මානුෂීය වටිනාකම්වල අමිල අගය ඉස්ලාම් භක්තිකයන් තුළ 

ජීවමානව පවතින බව පෙන්නුම් කරයි 
ලෝකයේ විවිධ රටවල ඊද්-උල්-ෆිතර් උත්සවය විවිධ සංස්කෘතික ලක්ෂණයන්ගෙන් සමන්විතව විවිද ආකෘතීන්ගෙන් සමරනු ලැබුවද, එහි මූලික අරමුණ සෑම සියලුදාම  එකක්ව පවතී.   ඒ අල්ලාහ් දෙවිඳානන් සැමට   ලබාදී ඇති ජීවිතයට,මෙන්ම මෙලොව ජීවත්වීමට ලබාදී ඇති සියල්ලට හා මග පෙන්වීමටත්  මරණින් මතු ජීවිතය යහපත් කර ගැනීමට ලබා දී ඇති උතුම් මග පෙන්වීමටත්. ස්තූති කිරීමට සහ සමාජය සමඟ ඒ සතුට බෙදා ගැනීමටත්ය.

ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය වැනි දකුණු ආසියාතික රටවල ඊද් උත්සවය මහත් උත්සවශ්‍රීයෙන්  සමරති. නව ඇඳුම්, විශේෂ ආහාර සහ පවුල් එකතු වීම මෙහි ප්‍රධාන ලක්ෂණ වේ. මෙම රටවල ඊද් උත්සවයේ වැදගත් අරමුණ වන්නේ පවුල් බැඳීම් ශක්තිමත් කිරීම සහ සමාජ සම්බන්ධතා වර්ධනය කිරීමයි.

මැදපෙරදිග රටවල සෞදි අරාබිය, එක්සත් අරාබි එමීරේට්ස් වැනි රාජ්‍යයන්
ඊද් උත්සවය අතිමහත් ආගමික ගෞරවයෙන් සමරනු ලබයි. විශාල පල්ලිවල සහ විවෘත භූමියන්හි නමස්කාරය ඉටු කරමින්, පසුව පවුල් හා මිතුරන් සමඟ සතුට බෙදා ගනීති. මෙහි අරමුණ වන්නේ අල්ලාහ් දෙවිදුන්ට පෙර කී ලෙස ස්තූති කිරීම සහ සමාජයේ එකමුතුව සහෝදරත්වය වර්ධනය කර ගැනීමයි.

ඉන්දුනීසියාව සහ මලේසියාව වැනි දකුණු- ආසියාතික රටවල “හරිරයා” ලෙස හඳුන්වන මෙම උත්සවය විශේෂ සංස්කෘතික වැදගත්කමක් දරයි. ජනතාව “Open House” සම්ප්‍රදාය මගින් තම නිවාස විවෘත කර අමුත්තන් පිළිගනිති. මෙහි ප්‍රධාන අරමුණ වන්නේද සමාව පිරිනැමීම, අතීත ගැටුම් අවසන් කිරීම සහ සමාජ සමගිය වැඩි දියුණු කිරීම සහ අල්ලාහ් දෙවිඳුන්ට  බැතිමත් ස්තුතිය පිරිනැමීමයි

අප්‍රිකානු රටවල, විශේෂයෙන් නයිජීරියාව සහ ඊජිප්තුව වැනි රටවල, ඊද් උත්සවය සංගීතය, සමාජ රැස්වීම් සහ දානය සමඟ සමරනු ලැබේ. මෙහි අරමුණ වන්නේ සමාජ සතුට වර්ධනය කිරීම සහ දුප්පත් අයට සහාය වීමත් අල්ලාහ් දෙවිඳුන්ට කෘතවේදිත්වය සහ  ස්තුති ප්‍රශංසා පිරිනැමීමයි.

බටහිර රටවල ( බ්‍රිතාන්‍යය, ඇමරිකාව) ජීවත්වන ඉස්ලාම් භක්තිකයන් ඊද් උත්සවය සමරන්නේ විවිධ සංස්කෘතික පසුබිම් අතර එකමුතුව විදහා දක්වමිනි. පල්ලි, පාසල් සහ සමාජ මධ්‍යස්ථානවල විශේෂ උත්සව සංවිධානය කරමින්, අන් ආගමිකයින්ටද මෙම උත්සව සඳහා සහභාගී කරගනිමින් ඉස්ලාමීය සහෝදරත්වය පිළිබඳව සහ  මානව දයාව පිළිබඳව අවබෝධයක් ලබා දෙයි. එහි අරමුණ වන්නේ සමාජ එකමුතුව සහ ආගමික අවබෝධය හා සහජීවනය වර්ධනය කිරීමයි.

ශ්‍රී ලංකාවේ ද ඊද්-උල්-ෆිතර් උත්සවය සුවිශේෂ ආගමික භක්තියකින් යුතුව සහ සංස්කෘතික උණුසුමෙන් යුතුව සමරනු ලැබයි. එදින රජයේ නිවාඩු දිනයක් බවට පත් කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. නිල වශයෙන් මෙම උත්සවය ජාතික ආගමික උත්සවයක් ලෙස පිළිගනිමින් ඉමහත් හරසර ඇතිව බුහුමන් දක්වයි  

පවුල් එකතු වීම,  ආහාර බෙදා ගැනීම, සහ දුප්පතුනට උදව් කිරීම මෙහි ප්‍රධාන ලක්ෂණ වේ. මෙහි අරමුණ වන්නේ ද සමාජයේ එකමුතුව, කරුණාව සහ ආදරය වර්ධනය කිරීමත් ශ්‍රී ලාංකීය ඉස්ලාම් ජනතාවගේ ගෞරවාර්භ ස්තුති ප්‍රශංසාව අල්ලාහ් දෙවිඳුන්ට පිරිනැමීමයි

ඊද් දිනය සතුට, ආදරය සහ සමාව පිරිනමන දිනයකි. “ඊද් මුබාරක්” යන සුභ පැතුම මගින් එකිනෙකාට ආශීර්වාද පිරිනමන අතර, පවුල්, නෑදෑයන් සහ මිතුරන් අතර සබඳතා ශක්තිමත් කරයි. එය අතීතයේ ඇති වූ විරෝධතා අමතක කර සමාව දෙන අවස්ථාවක් ද වේ.

සමස්ත වශයෙන් ගත්කල, ඊද්-උල්-ෆිතර් යනු බාහිර සංස්කෘතික උත්සවයක් පමණක් නොව, ගැඹුරු ආධ්‍යාත්මික අභ්‍යන්තර පරිවර්තනයක ප්‍රකාශනයකි. රාමසාන් මාසයේ ලබාගත් ආධ්‍යාත්මික පාඩම්  තක්වා,(දේව ගරු බිය භක්තිය) සබ්ර්,(ඉවසීම) දානය සහ කරුණාව දයාව සහ කම්පනය හා සමාජ වගකීම් දැරීම  ජීවිතය පූරා ක්‍රියාත්මක කිරීමට බලවත් ලෙස අධිෂ්ඨාන කර ගැනීමකි. 

එබැවින් මෙම උතුම් ආගමික සංස්කෘතික මංගල්‍යයේ සැබෑ අරුත වන්නේ ලෝකය පුරා විසිර සිටින ලෝකවාසී ජනගහනයෙන් හතරෙන් එකක් පමණ වන ඉස්ලාම් භක්තික ජනතාව එකට බැඳ  තබන, ආත්මික පාරිශුද්ධභාවය සහ අසිරිමත් මනුෂ්‍යත්ව සෑම ජන කොට්ඨාසයක් සමඟම නොමසරුව බෙදා හදා ගැනීමයි.

ඊද් මූබාරක්!

විශ්ව කලා ශ්‍රමික සංසදයේ සහ මහනුවර විශ්වාසවන්තයන්ගේ සංගමයේ සභාපති ජේෂ්ඨ මාධ්‍යවේදී 

සරත් කුමාර දූල්වල විසිනි


Post a Comment

0 Comments